T20 අංක එකේ කණ්ඩායම පරදවා නවකයෝ ශ්‍රී ලංකාව දිනවයි

සත්කාරක පාකිස්ථාන කණ්ඩායම සමගින් පැවැත්වුණු T20 තෙදින ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ හැකිවුණා.

ලාහෝර්හී ගඩාෆි ක්‍රීඩාංගණයේ ඊයේ (09) පැවැත්වුණු තෙවන සහ අවසන් තරගය ලකුණු 13කින් ජයගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම ජයග්‍රහණය ලබාගැනීමට හැකිවුණු අතර ලොව අංක එකේ T20 කණ්ඩායම වන පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව T20 තරගාවලියක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ද වීම විශේෂත්වයක්.    

ඊයේ පැවති අවසන් තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දී නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 147ක් රැස්කරගත්තා.

එහිදී පළමු වරට T20 ජාත්‍යන්තර තරග වරම් හිමිකරගත් ඕෂධ ප්‍රනාන්දු විසින් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 46කදී  නොදැවී ලකුණු 78 ක් රැස්කරගැනීමට සමත් වුණා. ඒ හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් ද සමගින්.

ඇන්ජලෝ පෙරේරා පන්දු 11කදී ලකුණු 13ක්ද, සධීර සමරවික්‍රම පන්දු 12කදී ලකුණු 12ක්ද, නායක දසුන් ශානක පන්දු 25කදී ලකුණු 12ක්ද රැස්කරගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් අමීර් කඩුලු 3ක්ද, ඉමාඩ් වසීම් සහ වහාබ් රියාස් කඩුලු 1 බැගින්ද දවාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ 6 දෙනෙකු දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 132ක් පමණයි.

හාරිස් සොහේල් පන්දු 50කදී ලකුණු 52ක්ද, බාබර් අසාම් පන්දු 32කදී ලකුණු 27ක්ද, ඉෆ්තිකර් අහමඩ් නොදැවී පන්දු 8කදී ලකුණු 17ක් ද රැස්කරගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 3ක්ද, ළහිරු කුමාර කඩුලු 2ක්ද, කසුන් රාජිත එක් කඩුල්ලක්ද බැගින් දවාගැනීමට සමත් වුණා.

මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් තරග 2ට ක්‍රීඩා කළ අවිෂ්ක ප්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, මිනෝද් භානුක, ඉසුරු උදාන සහ නුවන් ප්‍රදීප් වෙනුවට සධීර සමරවික්‍රම, ඇන්ජලෝ පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, ළහිරු මධුෂංක සහ ළහිරු කුමාර යන ක්‍රීඩකයන් සහභාගී කරගෙන තිබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් බොහෝ පිරිසකගේ සහභාගිත්වයෙන් තොරව පැවැත්වුණු මෙම තරගාවලියේදී නවක ක්‍රීඩකයන් බොහෝ පිරිසක් දක්ෂතා අතරට පැමිණීම සහ තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීම විශේෂත්වයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here