SLC හතුරුට හතුරු වෙයිද?

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග වලින් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම යළි මෙරටට පැමිණියේ ලකුණු සටහනේ හයවැනියා බවට පත්වෙමිනි. එහෙත් ප්‍රධාන පුහුණුකරුට, තේරීමි කමිටු ප්‍රධානියාට සහ කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයන්ට මාධ්‍යවේදෘන්ගෙන් සහ ක්‍රීඩාලෝලීන්ගෙන් එල්ල වන්නේ දැඩි අප්‍රසාදයකි.

මෙම තත්වය යටතේ චන්දික හතුරුසිංහව පමණක් දංගෙඩියට දක්කා අත පිසගැනීමට ඇතැම් නිළධාරීන් උත්සහ දරන බව පෙනේ.
හතුරුසිංහ මහතා 2017 වසරේ අග භාගයේදී මෙරටට පැමිණියේ මෙරටට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය භාරගැනීමටය. ඔහු පැමිණ ගෙවුන වසර එක හමාරක පමණ කාලයේදී මෙරට ක්‍රිකට් වලට අමුතුවෙන් සිදුවූ සෙත කුමක්දැයි ඔබත්, මමත් විමසා බැලීම අගනේය.

එයට හේතුව වන්නේ කණ්ඩායමේ සිටි අත්දැකීම් බහුල ජේෂ්ඨයන් ඉවත්කර නවකයන් කණ්ඩායමට ගනිද්දි ඔහු කීවේ මේ සියල්ල කරන්නේ ලෝක කුසලන තරගාවලිය ඉලක්ක කර නවකයන්ට අත්දැකීම් ලබාදීමට බවය.

පෙර සේම තරගවලි පිට තරගාවලි පරදිද්දී අප කරබාගෙන සිටියේ හතුරු ප්‍රමුඛ බලඇණිය කෙසේ හෝ ලෝක කුසලනයේදී පෙරළියක් කරනු ඇතැයි සිතාය. එහෙත් සිතූ තරම් දෙයක් එහිදී සිදු නොවුනි.

සිදුවූ එකම දෙය වූයේ දිමුත් කරුණාරත්න හා කුසල් ජනිත් ආරම්භක පිතිකරුවන් ලෙස ස්ථීර වීමත්, අවිශ්ක ප්‍රනාන්දු අංක 3 ස්ථානයට ගැලපෙන ක්‍රීඩකයෙක් බව පෙන්වාදීමත්ය. ඊට අමතරව ලසිත් මාලිංග සුපුරුදු දක්ෂතා අතරට පැමිණෙත්දී කණ්ඩායමේ ස්ථානයක් හොයමින් හතුරුසිංහ සමග අමනාපයෙන් සිටි ඇන්ජලෝ මැතිව්ස්ගේ ආගමනයයි.

මෙහි විශේෂත්වය වන්නේ ලෝක කුසලානය වෙනුවෙන් පුරුදු පුහුණු කළ බොහොමයක් දෙනා එම සංචිතය තුළ නොසීටීමය. එසේ සිටින්නට වරම් හිමිවූයේ හතුරුගේ අනාගත බලාපොරොත්තුව වූ කුසල් මෙන්ඩිස්ට පමණි.

කණ්ඩායමේ උප නායකත්වයට පත්කළ දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක වැනි ක්‍රීඩකයන් දිගින් දිගටම තරග වලටයොදාගත්තේ ලෝක කුසලානයට ඔවුන්ව සූදානම් කිරීමට බව පැවසුවද අන්තිමේදී එහෙන් මෙහෙන් ඇහිදගෙන එංගලන්තයට රැගෙන ගියේ “ඇහින්දාස්” කණ්ඩායමක් බව නම් නොකියාම බැරිය.

හතුරුගේම අනාගත වීරයන්ට කණ්ඩායමේ ස්ථාන අහිමි වෙද්දී චන්දිමාල්, තරංග වැනි ජේෂ්ඨයන්ට කණ්ඩායමේ දොර වැසිනි. මාලිංග සහ මැතිව්ස් රැගෙන ගියේ ඔවුන්ගේ වයස නිසා ඔවුන්ට තවත් ක්‍රීඩා කිරීමට නොහැකි බව ලෝකයාට පෙන්වීමටදැයි කියා සාධාරණ සැකයක් ද දැන් දැන් අපගේ සිත් තුළ ඇතිවේ.

මෙවන් තත්වයක් යටතේ එංගලන්තයට ගිය කණ්ඩායම කටුනායකට පැමිණෙද්දී මල් මාල දමා තියා නිකමටවත් පිළිගන්නට කිසිවෙකුත් ගියේ නැත. එහිදී මාලිංගගෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට ඔහු දුන් පිළිතරුත්, ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවේදී ඔවුන් ලබාදුන් පිළිතුරුත් අනුව මෙරට ක්‍රිකට් කරවන මහපුටුවල ඇත්තන්ට ඒවා දමා යෑමට සිදුවන බව සක්සුදක් සේ පැහැදිලිය.

ඉන්දියානුවන් මෙන් මෙරට ප්‍රේක්ෂකයිනුත් ගල් මුල් අතට ගන්නා දිනය වැඩි ඈතක නොවන බව නම් පෙනේ. එසේ වුවහොත් ගල් වදින්නේ ක්‍රීඩකයන්ට පමණක් නොවන බවද ඔවුන් හොඳ හැටී දනී.

ඒ නිසාවෙන්ම තවත් මාස 16ක් මුදලට හා වරප්‍රසාද වලට කෑදරකමේ සිය තනතුරේ සිටින්නට වෑයම්කරන ප්‍රධාන පුහුණුකරු දං ගෙඩිය වෙත දක්කා, තමන්ගේ අත් පිසදමාගැනීමට ක්‍රිකට් ප්‍රධානීන් කටයුතු කරනු පෙනේ.

මේ එවැන්නෙකු හතුරුසිංහ පිළිබඳ දැක්වූ අදහසයි.
“ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ට ගෙවන වැටුපට ප්‍රතිලාභයක් නැත්නම් තියාගෙන වැඩක් නැහැ. හතුරුසිංහට මීට පෙරත් මේක කියලා තියෙනවා. පාලකයන් ලෙස අපිට ඒ තීරණය ගන්න වෙනවා. නැත්නම් ජනතාව අපිටයි දොස් කියන්නෙ. හතුරුසිංහ මහත්මයා ඉවත්වෙන්නේ නෑ කියනවා නම් අපිට විකල්ප තියෙනවා. අපි ඔහුව කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නැතිනම් ඇකඩමියට දානවා. නැත්නම් වෙන මොනවා කරන්නද?”

හතුරුසිංහගේ මාසික වැටුප හා දීමනා එකතුව රුපියල් ලක්ෂ 80කට ආසන්නය. එවිට ක්‍රිකට් ලොකු පුටුවල අනෙක් ඇත්තන්ගේ වැටුප් ගැන ඔබට සිතාගත හැකිවනු ඇත. ඉතින් ඔවුන් මේ හදන්නේ හතුරුව බිලි දී ඔවන් පමණක් රැකෙන්නටය.

අවසනදී අපිට ඔබට කීමට ඇත්තේ ඔවුන් මේ නෙලා ගන්නේ එකළ ඔවුන් විසින්ම වැපිරූ අස්වැන්න බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here