ඉන්දියාවේ සල්ලි වලට වහවැටුණු ICCයේ ‘ඉන්දියාවට කිරි – ලංකාවට කැකිරි’ තියරිය ගැන අර්ජුනයි සංගයි කලකිරිලා

මෙවර ලෝක කුසලානයේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ඇතැම් ක්‍රියාකාරකම් පිළිබඳව තමන් එතරම් සතුටු නොවන බව හිටපු ක්‍රිකට් නායකයන් දෙපළක් වන අර්ජුන රණතුංග හා කුමාර් සංගක්කාර මහත්වරුන් පවසා තබේ.

විශේෂයෙන්ම මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාවට ලබාදුන් ඇතැම් තණතීරු තණකොළ බහුල වේගපන්දු යවන්නන්ට හිතකර ඒවා වුවද, ඉන්දියානු කණ්ඩායමේ සියලුම තරග සඳහා ලබාදී තිබුනේ පිතිකරුවන්ට හිතකර තණතීරුය.

සාමාන්‍යයෙන් ආසියාතික රටවල ක්‍රීඩකයන්ට වේගපන්දු තණතීරුවල ක්‍රීඩාකිරීම අසිරු බැවින් එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය හා දකුණු අප්‍රිකාව වැනි රටවල් වල ආසියාතික ක්‍රීඩකයන්ට ක්‍රීඩාකිරීම අපහසුය. එහෙත් වර්තමානයේදී ඉන්දියාව සතු ක්‍රිකට් ආධිපත්‍යයට ICCය පවා හිසනමමින් ඔවුනට හිතකර ආකාරයට ක්‍රියා කළද අනිකුත් රටවල් වලට ලැබෙන සමාන අවස්ථා ශ්‍රී ලංකාවට නොලැබෙන බවද ඔවුහු පවසති.

මෙවර තරගාවලියේදී වර්ෂාව නිසා ශ්‍රී ලංකාවට තරග දෙකක් ක්‍රීඩා කිරීමට නොලැබුන අතර, එංගලන්තයේ ක්‍රීඩාංගණ වර්ෂාවකදී සම්පුර්ණයෙන්ම ආවරණය නොකර අප ජලය ඉක්මනින් බැසයෑමට සකස්කර තබුනද, ඒවා සියල්ලේ ක්‍රියාකාරීත්වය එතරම් හොඳ මට්ටමක නොපවතින බව ලෝක කුසලාන තරගාවලයේ විස්තර විචාරකයෙක් ලෙස සහභාගී වන සංගක්කාර මහතා පවසා තිබුනි.

විශේෂයෙන්ම බ්‍රිස්ටල් ක්‍රිඩාංගණයේදී පැවති තරගය වර්ෂාව නතරවුවද පැවැත්වීමට නොහැකි වූයේ ක්‍රීඩාංගණයේ තැනින් තැන ජලය රැදී තිබුනු නිසා බවද ඔහු වැඩිදුරටත් පවසයි.

මේ අතර අර්ජුන රණතුංග මහතා පවසන්නේ ශ්‍රී ලංකාවට නවාතැන් පහසුකම් ලබාදී තිබූ හෝටල් වල පහසුකම් අනිකුත් කණ්ඩායම් හා සැසදීමේදී ඉතා අවම මට්ටමක පැවති බවයි. එමෙන්ම දිගින් දිගටම ශ්‍රී ලංකාවට අවාසිදායක තණතීරු ලබාදීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන් හෝ ක්‍රීඩා ඇමතිවරයා විසින් ICCයෙන් විමසිය යුතු බවද ඔහු පවසයි.

විශේෂයෙන්ම මෙම තත්වයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වැඩිම ආදායමක් ලබන්නේ හා වැඩිම ආධාර මුදල් ලබන්නේ ඉන්දියාවෙන් නිසා බව විචාරකයන්ගේ මතය වේ. ලොව වැඩිම ක්‍රිකට් ප්‍රේක්ෂකයන් පිරිසක් සිටින්නේ ඉන්දියාවේ බැවින් ඔවුන් ක්‍රිකට් තරග නැරඹීම නතර කළහොත් ICCයට ලැබෙන අති විශාල මුදල් මුදල් ප්‍රමාණයක් අහිමිවීමේ අවධානමක් ද පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here