96 ලෝක කුසලානය දිනූ පිටියේම ශ්‍රී ලංකා T20 කණ්ඩායම දස්කම් දක්වයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර පැවති තරග තුනකින් යුතු 20-20 ක්‍රිකට් තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදී තරග 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (07) සමත් වුණා.

මෙය දෙරට අතර 20-20 ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලි ජයග්‍රහණයක් ලැබූ පළමු අවස්ථාවද වනවා.

තරගය පැවැත්වුණේ ලාහෝර්හී ගඩාෆි ක්‍රීඩාංගනයේ වන අතර 1996 ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ලෝක කුසලානය දිනාගනු ලැබුවේද මෙම ක්‍රීඩාංගනයේදී වීම විශේෂත්වයක්.

ඊයේ පැවති දෙවන 20-20 තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දී පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 182ක් රැස්කරගත්තා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායම පන්දු වාර 19 කදී සියලු දෙනා දැවී ලකුණු 174කට සීමා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 35ක ජයක් හිමිවුණා.

පිතිකරණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් භානුක රාජපක්ෂ වේගවත් පිතිහරඹයක යෙදී පන්දු 48කදී ලකුණු 77ක් රැස්කළේ හයේ පහර 6ක්ද හතරේ පහර 4ක්ද සමගින්.

ෂෙහාන් ජයසූරිය පන්දු 28කදී ලකුණු 34 ක් රැස්කරගත් අතර නායක දසුන් ශානක නොදැවී පන්දු 15කදී ලකුණු 27ක් රැස්කරගත්තා.

අගනා පන්දු යැවීමක නිරත වූ නුවන් ප්‍රදීප් කඩුලු 4ක්ද, වනිඳු හසරංග කඩුලු 3ක්ද ලබාගත්තා. එසේම ඉසුරු උදාන කඩුලු 2ක්ද  කසුන් රජිත කඩුලු 1ක් ද ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලබාගත්තා.

පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් ඉමාඩ් වසීම් පන්දු 29කදී ලකුණු 47ක්ද, අසිෆ් අලි පන්දු 27කදී ලකුණු 29 ක්ද, නායක සෆ්රාස් අහමඩ් පන්දු 16 කදී ලකුණු 26ක්ද රැස්කරගත් අතර අන් කිසිම ක්‍රීඩකයෙකුට ලකුණු අතරට පැමිණීමට හැකිවුණේ නැහැ.

පන්දු යැවීමේදී ඉමාඩ් වසීම්, වහබ් රියාස් සහ ෂහාබ් කාන් කඩුලු 1 බැගින් දවාගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here