පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 4ක් ජයක් කොදෙව්වන්ට

කොරෝනා වසංගත තත්ත්වයෙන් පසුව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සනිටුහන් කරමින් පසුගියදා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් ඇරඹුණා.

එහි පළමු තරගය කඩුලු 4කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වීමත් සමග තරගාවලිය තරග 1ට 0ක් ලෙස ඔවුන් පෙරමුණේ පසුවනවා.

කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඔවුන් සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 204ක් රැස් කළ අතර පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සියලු දෙනා ලකුණු සංඛ්‍යාව 318ක් රැස් කළා.

තරගයේ පස්වන සහ අවසන් දිනය වන ඊයේ (12) දිනයේදී එංගලන්ත කණ්ඩායමට සිය දෙවන ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 313ක් පමණයි.

ඒ අනුව ලකුණු 200ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 6ක් පමණක් දැවී එම ජයග්‍රාහී සිමාව පසු කිරීමට සමත් වුණා.

එංගලන්ත දෙවන ඉනිමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වු ෂැනන් ගේබ්‍රියෙල් ලකුණු 75කට කඩුලු 5ක් දවා ගනිමින් තරගයේ වීරයා බවට පත් වුණා.

කොදෙව් පිල වෙනුවෙන් ජර්මයින් බ්ලැක්වුඩ් ලකුණු 95ක් රැස් කරමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළා.

දෙරට අතර දෙවන ටෙස්ට් තරගය ඕල්ට්‍රැෆර්ඩ්හි දී එළඹෙන 16 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here