2020 ලෝක කුසලානයේ සුපිරි 12න් ශ්‍රී ලංකාව ඉවතට

2020 පැවැත්වෙන ලෝක කුසලාන T20 තරගාවලියේ සුපිරි 12 දෙනාගේ කාණ්ඩයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අසමත් වී තිබෙනවා. ඔවුන් පිළිවෙලින් පළමු අදියරේ “A” හා “B” කාණ්ඩ සඳහා සුදුසුකම් ලබා තිබෙයි.

ඕස්ට්‍රේලියාවේ සත්කාරයෙන් ලබන වසරේදී පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් මස 18 වනදා සිට නොවැම්බර් මස 15 දක්වා ක්‍රීඩාංගන 7 කදී තරග 45ක් වශයෙන් පැවැත්වීමට නියමිතයි.

සුපිරි 12ට සුදුසුකම් නොලැබූ ශ්‍රී ලංකා හා බංගලාදේශ කණ්ඩායම්වලට නව කණ්ඩායම් 6ක් සමගින් තරග කර ජයග්‍රහණය ලබාගතහොත් පමණක් සුපිරි 12 දෙනාගේ කාණ්ඩයට යාමේ අවස්ථාව උදාවෙනවා. මෙයට හේතු වී ඇත්තේ 2018 වසරේ දෙසැම්බර් 31 වනදා වනවිට අයි.සී.සී.හි ශ්‍රේණිගතකිරීමේ පළමු 8 දෙනා අතරට පිවිසීමට කණ්ඩායම් දෙකට නොහැකි වීම නිසයි. ශ්‍රී ලංකාව සහ බංගලාදේශය පිලිවෙලින් එහිදී ලබාගෙන තිබුණේ 9 වැනි සහ 10 වැනි ස්ථානයි.

පළමු අදියරේ “A” හා “B” කාණ්ඩවලින් ජයගන්නා කණ්ඩායම් 2 බැගින් (හතරක්) සුපිරි 12 දෙනාගේ කාණ්ඩයට සුදුසුකම් ලබයි.

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් පළමු අදියරේ “A” කාණ්ඩයේ පළමු තරගය සඳහා ඔක්තෝබර් 18 වැනිදා ශ්‍රී ලංකාව අයර්ලන්තය සමගින් තරග වදියි. එසේම ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් 20 වැනිදා පැපුවා නිව් ගිනීයාව සමගින්ද, ඔක්තෝබර් 22 වැනිදා ඕමානය සමගින්ද තරග වැදීමට නියමිතයි.

පළමු අදියරේ “A” කාණ්ඩයේ තරග සියල්ලක්ම කාර්ඩිනියාහි ගීලෝන්ග් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතයි.

පළමු අදියර “A” කාණ්ඩය
ශ්‍රී ලංකාව, පැපුවා නිව් ගිනියාව, අයර්ලන්තය, ඕමානය

පළමු අදියර “B” කාණ්ඩය
බංගලාදේශය, නෙදර්ලන්තය, නැම්බියාව, ස්කොට්ලන්තය

සුපිරි 12 කාණ්ඩ
“1” කාණ්ඩය
පාකිස්ථානය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, A කාණ්ඩයේ පළමු ජයග්‍රාහකයා, B කාණ්ඩයේ දෙවන ජයග්‍රාහකයා

“2” කාණ්ඩ
ඉන්දියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, ඇෆ්ගනිස්ථානය, B කාණ්ඩයේ පළමු ජයග්‍රාහකයා, A කාණ්ඩයේ දෙවන ජයග්‍රාහකයා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here