සුපිරි ඕවරයෙන් එංගලන්තය නැවතත් නවසීලන්තය පරාජය කරයි

සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වුණු තරග 5 කින් යුත් T20 තරගාවලියේ පස්වෙනි සහ අවසන් තරගය ජයග්‍රහණය කිරීමට එංගලන්ත කණ්ඩායම අද සමත් වුණා. ඒ අනුව තරගාවලිය 3-2ක් ලෙස එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබුවා.

ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගනයේ පැවති අද තරගය පසුගිය ලෝක කුසලාන අවසන් මහා තරගය නැවත සිහිගැන්වූ ඉතා තියුණු මුහුණුවරක් ගත්තා. ඒ කණ්ඩායම් දෙකම සම ලකුණු තත්ත්වයක් ලබාගෙන සුපිරි ඕවරයක් ක්‍රියාත්මක වී ඉන් එංගලන්ත කණ්ඩායම ජයගැනීම හේතුවෙන්.

වර්ෂාව හේතුවෙන් පන්දු වාර 11කට සීමා වුණ අද තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 11 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 146ක් රැස්කළා. මාර්ටින් ගප්ටිල් ලකුණු 50ක්ද, කොලින් මුන්රෝ ලකුණු 46ක් ද, ටීම් සෙෆෙර්ට් ලකුණු 39ක්ද රැස්කළා. අන් ක්‍රීඩකයන්ට ලකුණු 6 සීමාව පසු කිරීමට හැකි වුණේ නැහැ. ෂකිබ් මොහ්මඩ්, ක්‍රිස් ජෝර්දාන්, ටොම් කරන්, සෑම් කරන් හා ඇඩිල් රෂිඩ් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ එංගලන්ත කණ්ඩායම නියමිත පන්දු වාර 11 අවසානයේ 7 දෙනෙකු දැවී ලකුණු 146ක් රැස්කළා. ජොනි බෑස්ටෝ ලකුණු 47ක්ද, සෑම් කරන් ලකුණු 24ක්ද, නායක ඉයන් මෝර්ගන් ලකුණු 17ක්ද රැස්කළා. අන් ක්‍රීඩකයන් කිසිවෙක්ටවත් ලකුණු 12 සීමාව පසු කිරීමට හැකි වුණේ නැහැ. මිචෙල් සැන්ටර්, ජේම්ස් නීශම් හා ට්‍රෙන්ට් බෝල්ට් අතර කඩුලු 2 බැගින් බෙදී ගිය අතර, ටිම් සවුති එක කඩුල්ලක් දවාගත්තා.

කණ්ඩායම් දෙකම ලකුණු 146ක් ලබා සම තත්ත්වයේ පසු වූ බැවින් සුපිරි ඕවරයක් ක්‍රියාත්මක වුණා.

එහිදී නවසිලන්ත කණ්ඩායම් නායක ටීම් සවුතිගේ පන්දු වාරය හමුවේ එංගලන්ත කණ්ඩායම ලකුණු 17ක් රැස්කළා. ජොනි බෑස්ටෝ ලකුණු 8යි. ඉයන් මෝර්ගන් ලකුණු 9යි.

එංගලන්ත කණ්ඩායමේ ක්‍රිෂ් ජෝර්දාන්ගේ පන්දු වාරය හමුවේ නවසීලන්ත කණ්ඩායමට රැස්කරගත හැකිවූයේ ලකුණු 8ක් පමණයි. ටීම් සෙෆෙර්ට් ලකුණු 6යි. මාර්ටින් ගප්ටිල් ලකුණු 1යි. කොලින් ඩී ග්‍රෑන්ඩ්හෝම් ලකුණු ලබාගැනීමට සමත් වුණේ නැහැ. මෙම සුපිරි ඕවරයේදී ටීම් සෙෆෙර්ට් දවාගැනීමටද ක්‍රිෂ් ජෝර්දාන් සමත් වුණා.

ඒ අනුව සුපිරි ඕවරයේ ලද ලකුණු 9 හේතුවෙන් එංගලන්ත කණ්ඩායම තරගය ජයග්‍රහණය කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here