ස්තුතියි හේරා

1978 වසරේ මාර්තු මාර්තු 18 වැනි දින කුරුණෑගලදී උපත ලද හේරත් මුදියන්සේලාගේ රංගන හේරත් කිර්ති බණ්ඩාර නම් ක්‍රිකට් විරුවාව අද ලොවක් හදුනන්නේ ක්‍රිකට් ඉතිහාසය පුරාවට බිහිවූ හොඳම වමත් දඟපන්දු යවන්නා වශයෙනි. මේ සටහන ඒ ආදරණිය ‘හේරා’ වෙනුවෙන් තැබෙන්නේ පසුගියදා ඔහු ගාල්ලේදී සිය අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට නැවතීමේ තිත තැබූ නිසාවෙනි.

පොල්ගහවෙල ශාන්ත බර්නදෙත් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද අපගේ කතා නායකයා ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබන්නේ නාරම්මල මයුරපාද විද්‍යාලයෙනි. ඒ ඔහුගේ මුල්ම පුහුණුකරු වූ ලාල් දිනපුර මහතා යටතේය. එම කාලයේදී ඔහුදේ දස්කම් හදුනා ගන්නා එවකට කුරුනෑගල මලියදේව විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු වශයෙන් කටයුතු කල රෝහන ධිරසුරිය මහතා රංගනට මලියදේවයේ දොරගුළු විවර කරන්නේ ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩාවේ පළමු හැරවුම් ලක්ෂය වශයෙනි. රංගන වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්නේද මලියදේවයේ සිටියදිමය. මලියදේව ශාන්ත ආනා මහා ක්‍රිකට් තරගාවලියේදී කදුළු ත්‍රිත්වයක් ලබාගනිමින් ඔහු තැබූ වාර්තාවක් අදටත් නොබිඳී පවතී.

පාසල් අවදියෙන් පසු කුරුණෑගල ක්‍රීඩා සමාජය, කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජය, කොල්ට්ස් ක්‍රීඩා සමාජය, එන්.සී.සී. ක්‍රීඩා සමාජය, මුවර්ස් ක්‍රීඩා සමාජය හා ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය දේශීය වශයෙන රංගනගේ පන්දු යැවීමෙන් හද වැඩ වූ අතර, එංගලන්ත ලිග් තරග වලදී සරේ කණ්ඩායම නියෝජනය කිරීමටද ඔහුට වරම් හිමිවන්නේ ඔහුගේ වමත් පා දඟ පන්දුවේ විශිටත්වය නිසාමය.

වයස අවුරුදු 21දී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනයට ඔහුට වරම් හිමිවන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ දැවැන්තයන් රැසක් සමගිනි. 1999 වසරේ මංගල ටෙස්ට් තරගයට ගාල්ලේදී ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව තරග කරන ඔහුගේ සටන් සගයන් වන්නේ එවකට කණ්ඩායම් නායක සනත් ජයසුරිය, අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා, රොමේෂ් කලුවිතාරණ, මාවන් අතපත්තු, මුරලිදරන්, චමින්ද වාස් වැන්නවුන්ය. එවන් කණ්ඩායමක වයස අවුරුදු 21ක මෙම කොලු ගැටයා කුමක් නම් කරන්නට ඇත්දැයි ඔබ නිකමට සිතා බලන්න.

ඉන් අනතුරුව 2009 වසර දක්වා අවුරුදු 10කදී රංගනට ක්‍රීඩා කරන්නට ලැබී තිබුනේ ටෙස්ට් තරග 14ක් පමණි. එයට ප්‍රධානතම හේතුව වුයේ අදටත් ලොව හොඳම දඟපන්දු යවන්න බවට අවිවාදයෙන් යුතුව පිළිගන්නා මුත්තයියා මුරලිදරන් නිත්‍ය දඟපන්දු යවන්න වශයෙන් කණ්ඩායම තුල ස්ථාවරව සිටීම සහ සහය දඟ පන්දු යවන්නා වූ නිත්‍ය ආරම්භක පිතිකරු සනත් ජයසුරිය වමතින් හොදින් දඟ පන්දු යැවීමය. වේගපන්දු යවන්නන් තිදෙනෙකුගෙන් හා පිතිකරුවන් හත් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමේ රංගනයට අවස්තාවක් නොලැබීම පුදුමයක් ද නොවේ.

කෙසේ වෙතත් වසර 2009දී කණ්ඩායමේ නායකයාව සිටි කුමාර් සංගක්කාරගේ ඉල්ලීමක් මත එංගලන්තයේ සිටි රංගන ශ්‍රී ලංකාවට එන්නේ අබාධයකට ලක්ව සිටි මුරලිගේ අඩුව පුරවනු පිණිසය. එදා ඇරඹි රංගනගේ දෙවැනි රංගනය නිමාව දුටුවේ පසුගියදා ගල්ලෙදිය.

මුත්තයියා මුරලිදරන් 2010 වසරේදී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් පසු ‘හේරත්’ සාධකය ශ්‍රී ලංකාවට නැතිවම බැරි විය. එවක් පටන් අද දක්වා කණ්ඩායම මෙහෙයවූ නායකයන් තුරුම්පු ‘හේරා’ව හරි අපුරුවට නිසි වෙලාවට යොදාගත් නිසාවෙන්ම රංගන අද ලොව හොඳම වමත් දඟ පන්දු යවන්නා බවට පත්ව ඇත. ඔහුගේ ටෙස්ට් කදුළු මල්ල කඩුලු 431කින් බරවී ඇත. ඊට අමතරව එක්දින තරගවලදී කඩුලු 74ක් සහ විස්සයි විස්ස තරග වලදී කඩුලු 18ක් මේ විශිෂ්ටයාගේ නමට ඉදිරියෙන් ලියවී ඇත. ඊට අමතරව තීරණාත්මක තරග වලදී පිත්තෙන්ද තම යුතුකම හැකි උපරිමයෙන් ඉටු කරන්නට රංගන කිසිදා මැලිවුයේ නැත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ග්ලෝ මැතිව්ස් පවසන්නේ නව පන්දුවෙන් දඟ පන්දු යැවීමට පන්දුව භාරදෙනවා නම් එකට එකම සුදුස්සා ‘හේරා’ බවය. අප කවුරුත් හොදින්ම දන්නා කරුණ වනේ දඟ පන්දු යවන්නන් වඩා සාර්ථක වන්නේ පලුදු වූ පන්දුවෙන් පන්දු යවන විටදී බවය. එහෙත් අපේ ‘හේරා’ට ඒ කිසිවක් අදාළ වුයේ නැත. එක අන්තයකින් නව පන්දුවෙන් වේග පන්දු යවන විට අනෙක් අන්තයෙන් පන්දු යැවීමට ඔහු කිසිදා දෙවරක් සිතුවේ නැත.

පසුගිය සමයේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වල පතුලටම වැටි තිබුනද ටෙස්ට් ක්‍රිකට් වලින් තරමක් හෝ ඉදිරියෙන් සිටීමේ වැඩි ගෞරවය හිමිවිය යුත්තේ රංගනටය. එහෙත් දැන් ඒ සියල්ල අතීතයට එකතු වී හමාරය. රංගන යනු දැන් ක්‍රිකට් පුරාවෘත්තයකි. මුරලි අඩුව පුරවන්නට හේරා සිටියද ඔහු නැති අඩුව එතරම් ඉක්මනින් පුරවනට කෙනෙක් තවමත් අපට නැත. අකිල ධනංජය, දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන් වැන්නවුන් දක්ෂයින් බවට විවධයක් නැත. වමතින් දඟ පන්දු යවන මලින්ද පුෂ්පකුමාරද හොඳ ආයෝජනයකි. එහෙත් අප හේරාගේ අඩුව පුරවාගැනීමට නම් මොවුන්ව නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට පළමුව උගත යුතුය.

අයි.පී.එල්. වැනි තරගාවලි නිසාවෙන් වසර 15ක්, 20ක් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළ හැකි දක්ෂයන්ගේ තැන කණ්ඩායමට අහිමිකළ යුතු නැත. අයි.පී.එල්. නරක නැත. එහෙත් ඒවායින් ක්‍රීඩකයන්ට ක්‍රීඩා කල හැකි වසර ගණන නම් කෙටි කල හැකි බව නම් අපට ඉඳුරාම කිව හැකිය.

අවසනදී කියන්නට ඇත්තේ හේරා, ඔබෙන් හිස්වූ තැන පුරවන්නට අපිට තව වසර කිහිපයක් ගත වනු ඇත. එහෙත් එය එලෙසම සපිරෙවිදැයි කියනන්ට සමත් කිසිවෙකුත් නැත. ඉතින් ලක්මවට සිදුකල අමිල සේවයට Sports Today.lk අපි හිස නමා ආචාර කරමින් ඔබට සුව සැන්දෑ සමයකයකට ආසිරි පතන්නෙමු.

සචිත් යාපා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here