ෂෙහාන් අඹේපිටිය ක්‍රීඩාපිටියට සමුදෙයි

පසුගිය 17 වැනිදා පැවති 97 වැනි ජාතික මලල ක්‍රීඩා ශුරතාවලියේදී සිය අවසන් දක්ෂතාවය දක්වමින් ශ්‍රී ලංකා කෙටි දුර ධාවන සුපිරි තරුවක් වූ ෂෙහාන් අඹේපිටිය ක්‍රීඩා පිටියට සමු දුන්නේය. ඒ මීටර් 200 පිරිමි ඉසව්වේ සිව්වැනි තේරීම් තරගයේ දී තත්පර 21.52 ජයග්‍රාහී නිමාවක් සනිටුහන් කිරීමත් සමගින්ය. 

කණිෂ්ඨ ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරන අවධියේ දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා ලෙසත්, ආසියාවේ දෙවන වේගවත්ම කණිෂ්ඨ ක්‍රීඩකයා ලෙසත්, ලොව හත්වැනි වේගවත්ම කණිෂ්ඨ ක්‍රීඩකයා ලෙසත් නම් දැරීමට ෂෙහාන් අඹේපිටිය සමත් විය.

2008 වසරේ යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සිය උපරිම දක්ෂතාවය පෙන්වා මීටර් 100 හා 200 රන් පදක්කම් ලංකාවට දිනාදෙමින් ෂෙහාන් පිහිටු වූ වාර්තාව මේ වනතෙක් කිසිවෙකු බිද හෙළා නොමැත.

2009 වර්ෂයේ දී හොංකොං හි පැවති  ආසියානු ගෝන් ප්‍රී තරගාවලියේ අදියර තුනේම මීටර් 100 රන් පදක්කම් ද, 2010 වසරේ ඉන්දියාවේ පැවති ආසියානු ගෝන් ප්‍රී තරගාවලියේ පළමු අදියරේ මීටර් 100 ඉසව්වෙන් රන් පදක්කම ද, 2010 වසරේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 රිදී පදක්කම ද දිනාගත් ෂෙහාන් මීටර් 100×4 සහාය දිවීමේ කණ්ඩායමට ද සිය දායකත්වය දී එම ඉසව්වේ රිදී පදක්කම ද දිනා ගැනීමට සමත් විය.

2018 වර්ෂයේ දී ෂෙහාන් ප්‍රමුඛ සහාය දිවීමේ කණ්ඩායම විසින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙලේ දී අවසන් මහා තරගයේ 6 වැනි ස්ථානය ද දිනාගනිමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවන්නේ තත්පර 39.08 කින් සිය ඉසව්ව නිමා කරමිනි.

අවසන් වසර කිහිපයේදී ද ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායමේ නායකයා වශයෙන් ෂෙහාන් කටයුතු කළේය.

වසර 10කට අධික කාලයක් කෙටිදුර ධාවන පථයේ දස්කම් දැක්වූ, දැනට 30 හැවිරිදි වියේ පසුවන ෂෙහාන් රාජගිරිය ජනාධිපති විදුහලේ සහ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ දීප්තිමත් ආදිශිෂ්‍යයෙකු ද වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here