ශ්‍රී ලංකා ලේජන්ඩ්ස් ඉන්දියාව සමග අද අවසන් සටනට

ඉන්දියාවේදී පැවැත්වෙන ‘රෝඩ් සේෆ්ටි’ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ලේජන්ඩ්ස් කණ්ඩායම සමත් විය. ඒ අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජයට පත්කරමිනි.

ඒ අනුව අද (21) රාත්‍රී 7.00ට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතය.

දකුණු අප්‍රිකාව සමග පැවැති අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු 8ක විශිෂ්ට ජයක් ලැබීය. එහිදී පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානුවන් ලකුණු 125ක සීමා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ මෝර්න් වෑන් වයික් ලකුණු 53ක් ලබාගත්තේය. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නුවන් කුලසේකර ලකුණු 25කට කඩුලු 5ක් බිඳ හෙලීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16කදී කඩුලු 2ක් පමණක් බිඳවැටී තිබියදී තරගය ජය ගත්තේය. එහිදී විශ්ෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ චින්තක ජයසිංහ පන්දු 25කින් ලකුණු 47ක් නොදැවී ලබාගත් අතර, ඔහුට අනගි සහායක් ලබාදුන් උපුල් තරංග ලකුණු 39ක් ලබාගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here