ශ්‍රී ලංකා – පාකිස්ථානය දෙවන 20-20 තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානයට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද (07) ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 7.00ට ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතව පවතිනවා.

1-0 ක් ලෙස මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ ඉදිරියෙන් පසුවෙනවා.

දෙරට අතර පැවැත්වුණු පළමු 20-20 තරගයේදී ශ්‍රී කණ්ඩායම ලකුණු 64කින් ජයගැනීමට සමත් වුණා.

ඒ තරගයේදී කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට  ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 165ක් රැස්කරගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායමට පන්දු වාර 17.4කදී සියලු දෙනා දැවී රැස්කරගැනීමට හැකිවූයේ ලකුණු 101ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පිති හරඹයක නිරත වූ ධනුෂ්ක ගුණතිලක පන්දු 38කදී ලකුණු 57ක් රැස්කළේ 20-20 පිටියේ ඔහු රැස්කරගත් වැඩිම ලකුණු සංඛ්‍යාව සනිටුහන් කරමින්. එසේම මෙම තරගයෙන් 20-20 පිටියේ වරම් හිමිකරගත් භානුක රාජපක්ෂ වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 22කදී ලකුණු 32ක් ලබාගැනීමට සමත් වුණු අතර අවිශ්ක ප්‍රනාන්දු පන්දු 34කදී ලකුණු 33ක් ලබාගනිමින් ශ්‍රී ලංකා පිලට සහයෝගය ලබාදුන්නා

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉසුරු උදාන සහ නුවන් ප්‍රදීප් කඩුලු 3 බැගින්ද, වනිඳු හසරංග කඩුලු 2ක්ද, කසුන් රාජිත කඩුලු 1ක් ද ලබාගත් අතර පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් හස්නෙයින් කඩුලු 3ක්ද, ෂහාබ් කාන් කඩුලු 1ක්ද ලබාගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here