ශ්‍රී ලංකාව රෂිඩ් ඛාන්ට ටොකු අනියි

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වාර්තා කළ පළමු ජය ඊයේ (04) ඇෆ්ගනිස්තානයට එරෙහිව ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ඒ ඩක්වත් ලුවිස් න්‍යාය අනුව තරගය ලකුණු 34කින් ජය ගනිමිනි.

කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව අෆ්ගනිස්තාන නායකයා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළේය. ඒ අනුව පිටියට පිවිසි නායක දිමුත් කරුණාරත්න හා කුසල් පෙරේරා එක්ව පළමු කඩුල්ලට ලකුණු 92ක සම්බන්ධතාවයක් ගොඩනගනු ලැබුවේ කලකට පසු මෙරට ක්‍රීඩාලෝලින්ගේ බලාපොරොත්තු ඉහළ නංවමිනි. ඉන් අනතුරුව දෙවැනි කඩුල්ල ලකුණු 144දී බිඳ වැටෙනවිට ශ්‍රී ලංකාව ඉතා හොඳ තත්වයක සිටියේය.

එහෙත් අවාසනාවට මෙරට මැදපෙළ පිතිකරුවන් යළිත් සුපුරුදු දක්ෂතා කාඩිෆ් තණතීරුවේදී පෙන්වීමට යෑම නිසා ලකුණු 36ක් තුළ තවත් කඩුලු 6ක් ප්‍රතිවාදීන්ට පුජා කිරීමට සිදුවිය. ශ්‍රී ලංකාවේ වැඩිම ලකුණුලාභියා වූ කුසල් පෙරේරා ලකුණු 78ක් රැස් කළේය.

වර්ෂාවෙන් තරගයට බාධා එල්ලවූ නිසා පන්දුවාර 41කට තරගය සීමා කළේය. ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 36.5කින් අවසන් වූයේ සියලුම ක්‍රීඩකයන ලකුණු 201කට දැවීයෑම නිසාවෙනි.

ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ඇෆ්ගනිස්තානයට පන්දුවාර 41ක් තුළ හිමිවූ ඉලක්කය ලකුණු 187කි. වරින් වර දෙපිළටම දෝලනය වූ තරගය නුවන් ප්‍රදීප්ගේ හා ලසිත් මාලිංගගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකාවට ජයගැනීමට හැකිවිය. ඒ අනුව ඇෆ්ගනිස්තානය පන්දුවාර 32.4කදී 152කට සීමාකිරීමට ඔවුනට හැකිවිය.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් නජිබුල්ලාගේ පිත්තෙන් ලකුණු 43ක් වාර්තා විය. පන්දු යැවීමේදී නුවන් ප්‍රදීප් කඩුලු 4ක් සහ ලසිත් මාලිංග කඩුලු 3ක් බිඳහෙලීය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී පහසුවෙන්ම පරාජයට පත්කළ හැකි කණ්ඩායම ශ්‍රී ලංකාව බවත් ශ්‍රී ලංකාව පරාජය කර අනිත් තරගය ජයගැනීම තම අරමුණ බවත් ජාත්‍යයන්තර මාධ්‍යයට අදහස් දැක්වූ රෂිඩ් ඛාන්ට ඇන්න ටොක්කක් බවට මෙම තරගය පත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here