ශ්‍රී ලංකාව පරද්දන්න 20-20න් කේන් විලියම්සන් ඉවතට

එළැඹෙන සැප්තැම්බර් 1 වැනිදා ආරම්භ වීමට නියමිත තරග 3කින් යුතු නවසීලන්ත – ශ්‍රී ලංකා 20-20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත නවසීලන්ත සංචිතය ඊයේ (20) ප්‍රකාශයට පත්කෙරුණි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරගාවලි ඉලක්ක කරගනිමින් නවසීලන්ත නිත්‍ය නායක කේන් විලියම්සන් සහ වේගපන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් මෙම තරගාවලි සංචිතයට එකතුකර නොගෙන විවේක ගන්වා ඇති බව නවසීලන්ත තේරීම් කමිටු සාමාජික ගෙවින් ලාසන් පැවසීය. 

කේන් විලියම්සන් විවේක ගන්වා ඇති බැවින් නවසීලන්ත කණ්ඩායමේ නායකත්වයට වේගපන්දු යවන ක්‍රීඩක ටිම් සවුතිව පත්කර ඇත. එසේම ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුතු මෙම සංචිතය සඳහා දඟපන්දු යවන්නන් වන ඉෂ් සෝධි, මිචෙල් සැන්ට්නර් සහ ටොඩ් ඇස්ටල් නම්කර තිබීමද විශේෂත්වයකි.

නවසීලන්ත තේරීම් කමිටු සාමාජික ගෙවින් ලාසන් නවසීලන්ත මාධ්‍ය වෙත මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකාව තුළ 20-20 තරගාවලියක් ක්‍රීඩා කරද්දී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කිරීම අභියෝගයක් බවත්, ඒ තත්ත්වයන්ට ගැලපෙන අයුරින් දඟපන්දු යවන්නන් තිදෙනෙකු සංචිතයට ඇතුලත් කරගත් බවයි.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු 20-20 තරගය එළැඹෙන සැප්තැම්බර් 1 වැනිදා ආරම්භ වන අතර දෙවැනි සහ තුන්වැනි තරග සැප්තැම්බර් 3 සහ 6 දිනයන්හි මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

නවසීලන්ත සංචිතය 
ටිම් සවුති (නායක) 
ටොඩ් ඇස්ටල්, ටොම් බෘස්, කොලින් ඩී  ග්‍රෑන්ඩ්හෝම්, ලෝකී ෆර්ගියුසන්, මාටින් ගප්ටිල්, ස්කොට් කුග්ලෙයින්, ඩැරිල් මිචෙල්, කොලින් මුන්රෝ, සෙත් රේන්ස්, මිචෙල් සැන්ට්නර්, ටිම් සෙයිෆර්ට්, ඉෂ් සෝධි, රොස් ටේලර්    

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here