ශ්‍රී ලංකාවට ලකුණු 516ක අතිදැවැන්ත ඉලක්කයක්

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදී සිය දෙවැනි ඉනිම ලකුණු 196කට කඩුලු 3ක් බිඳ වැටි තිබියදී අත්හිටවූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 516ක අතිදැවැන්ත ඉලක්කයක් ලබාදී ඇත.

එම ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමාවනවිට කිසිවෙකුත් නොදැවී ලකුණු 17ක් රැස්කරගැනීමට සමත්විය. මේ වනවිට දිමුත් කරුණාරත්න හා ලහිරු තිරිමාන්න ලකුණු 8 බැගින් ලබාගෙන සිටිති. ඒ අනුව ශ්‍රී ලංකාවට ඉතිරි දින දෙක තුල කඩුලු 10ක් අතැතිව ලකුණු 499ක් අවශ්‍ය වේ.

ඊයේ (02) දිනයේදී පැට් කමින්ස්ගේ පන්දුවක් බෙල්ල හා උරහිස ප්‍රදේශයේ වැදීමෙන් සිදුවූ අනතුර නිසාවෙන් පිටියෙන් ඉවත්ව වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් දිමුත් කරුණාරත්න අද (03) යලිත් පන්දුවට පහරදීමට පැමිණීම ශ්‍රී ලංකාව පැත්තෙන් වාසිදායක තත්වයක් විය. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 59කි.

ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන් හමුවේ දැඩිව අසරණවූ ශ්‍රී ලංකා කණ්ඩායම තවත් අසීරු තත්වයකට පත්වුයේ කුසල් ජනිත් පෙරේරාගේ හිස් ආවරණයේ පන්දුවක් වැදීමෙන් අනතුරුව පිටියෙන් ඉවත්වීමට සිදුවීමෙනි.

ශ්‍රී ලංකාවට වඩා ලකුණු 319ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඔු ඕස්ට්‍රේලියානුවෝ කඩුලු 3කට ලකුණු 196ක් රැස්කර සිටියදී ඔවුන්ගේ ඉනිම නතර කළහ. උස්මාන් කවාජා සිය ශතකය (101*) රැස්කිරීමෙන් අනතුරුව ඔවුහු මෙලෙස ඉනිම අත්හිටවනු ලැබුහ.

හෙට තරගයේ සිව්වැනි දිනයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here