වැස්ස හරස් වූ නවසීලන්ත ඉනිම දෙවැනි දිනටත් අද ක්‍රියාත්මකයි

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය වූ ඉන්දියාව හා නවසීලන්තය අතර තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවිය. ඒ අනුව වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 46.1කට මුහුණදී කඩුලු 5කට ලකුණු 211ක් ලබාගෙන සිටියේය.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් ප්‍රබල ඉන්දියාවට එරෙහිව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. එහෙත් තරමක මන්දගාමී බවක් පෙන්නුම් කළ නවසීලන්ත ඉනිම වර්ෂාව හේතුවෙන් නතර කරනවිට ලකුණු ලබාගැනීමේ වේගය සටහන් වූයේ පන්දුවාරයකට 4.57කි වශයෙනි.

නායක විලියම්සන් ලකුණු 67ක් ලබාගැනීමට සමත් වූ අතර, මේ වනවිට නොදැවී කඩුල්ලේ රැඳී සිටින රෝස් ටේලර් ද ලකුණු 67ක් ලබාගෙන සිටී. අනෙක් අන්තයේ නොදැවී සිටින ටොම් ලැතම් ලබාගෙන සිටියේ ලකුණු 3ක් පමණි.

පන්දු යැවීමේදී බුවනේශ්වර් කුමාර්, පාන්ඩ්‍යා, බූම්රා,ජඩේජා හා චාහල් යන සියලුම පන්දු යවන්නන් එක් කඩුල්ල බැගාන් ලබාගැනීමට සමත්විය.

ඉතිහාසයේ පළමු වරට මෙවර ලෝක කුසලාන තරගාවලියේදී වර්ෂාව හේතුවෙන් තරග 4ක් සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමට සිදුවූ අතර, ඉන් වැඩිම බලපෑම ඇතිවූයේ ශ්‍රී ලංකාවටය. ඒ ඉන් තරග දෙකක්ම ශ්‍රී ලංකාව සහභාගී වූ තරග වූ නිසාවෙනි. මූලික වටයේ තරග වලට අතිරේක දිනයක් එකතුකර නොතිබුනද, අවසන් පූර්ව තරග දෙකට සහ අවසන් මහා තරගයට අතිරේක දිනය බැගින් එකතු කර ඇත. ඒ නිසාවෙන් මෙම තරගය අද (10) දින යළි එතැන් සිට ක්‍රියාත්මක වේ.

යම් හෙයකින් එලෙස අතිරේක දිනයක් නොතිබුනේ නම් මෙම කණ්ඩායම් දෙකේ මූලික වටයේ තරගයේදී මෙන්ම මෙහිදීද තරගය අත්හැර දමන්නට සිදුවනු නොඅනුමානය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here