‘වලව සුපර්ක්‍රොස්’ 22 වැනිදා

“වලව සුපර්ක්‍රොස් මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය – 2019” මෙම මස 22 වැනිදා ආරම්භ වීමට නියමිතව පවතිනවා. ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රීක ඉංජිනේරු රෙජීමේන්තුව විසින්, යුද හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුව හා ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සංගමය සමග එක්ව 9 වැනි වරටත් සංවිධාන කරන මෙම තරගාවලිය ඇඹිලිපිටිය සෙවණගල ක්‍රාෆ්ට්මන් ඕටෝඩ්‍රොම් ධාවන පථයේදී පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිට සුදානම්ව පවතිනවා.

රට වෙනුවෙන් ජීවිත පූජා කළ සහ ආබාධිත තත්ත්වයේ පසුවන වීරෝධාර රණවිරුවන්ගේ පවුල්වල සුභසාධනය උදෙසාත්, දැනට සේවය කරන රණවිරුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සුභසාධනය උදෙසාත්, රෙජිමේන්තුවේ යටිතල පහසුකම් සංවර්ධන උදෙසාත් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන උපයා ගැනීමේ අරමුණින් 2011 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් ‘වලවේ සුපර්ක්‍රොස්’ ධාවන තරගාවලිය ආරම්භ කර තිබෙනවා. මෙවර එය පැවැත්වෙන්නේ 9 වැනි වරටයි.

මෙම වසරේ තරගාවලිය සඳහා ප්‍රමුඛ පෙළේ මෝටර රථ රියැදුරන් සහ යතුරුපැදිකරුවන් සමගින් තරගකරුවන් 200 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වන අතර මෝටර රථ තරග ඉසව් 11ක් සහ යතුරුපැදි තරග ඉසව් 13ක් තරගාවලිය සඳහා ඇතුළත්ව තිබෙනවා.

මෙවර වලවේ සුපර්ක්‍රොස් තරගාවලිය අන්තර්ජාතික මට්ටමින් සංවිධාන කර ඇති බවත් ජයග්‍රාහකයන්ට රුපියල් මිලියන 2.5 ත්‍යාග මුදලක් පිරිනැමීමට කටයුතු සම්පාදනය කර තිබෙන බවත් ප්‍රවීණ මෝටර් රථ ධාවක, යුද හමුදා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ උප සභාපති බ්‍රිගේඩියර් ඉන්දු සමරකෝන් මහතා ප්‍රකාශ කළා. ඒ මහතා ඒ බව ප්‍රකාශ කලේ පසුගියදා කොළඹදී පැවැත්වුණු තරගාවලිය පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව අමතමින්.

එසේම තරගාවලිය නැරඹීමට එන ක්‍රීඩාලෝලින්ට ඔවුන් මිලදී ගන්නා ප්‍රවේශපත්‍රයට අදාළව කරනු ලබන දිනුම් ඇදීම් මගින් වටිනා ත්‍යාග ලබාදීමටත් සංවිධායකයන් සැලැසුම් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here