ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය – 2019 ශ්‍රී ලංකාව ජයග්‍රහණය සැමෝවාට පුදයි

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ දෙවැනි වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ දෙවැනි තරගයෙන් සැමෝවා හමුවේ ගෝල 10ක තියුණු පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. අවසන් ලකුණු තත්ත්වය දැක්වුණේ ලකුණු 65-55ක් ලෙසනි. මෙම පරාජයට මෙවර ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ මෙතෙක් වැඩිම ගෝල රැස් කර ඇති තර්ජිනී සිවලිංගම්ගේ දුර්වල ක්‍රීඩා විලාසය හේතුවූ අතර, ඇයට ලබාගත හැකිව තිබූ ලකුණු 10ක් පමණ ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි වීම ශ්‍රී ලංකාව මෙම තරගයෙන් පරාජයට පත්වීමට දැඩි ලෙස බලපෑවේය.

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සහ සැමෝවා අතර, තරගය එංගලන්තයේ ලිවර්පූල් නුවර එම්. ඇන්ඩ් එස්. බෑන්ක් එරීනා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඊයේ (16දා) නිමාවට පත්විය.

කෙසේ වෙතත් මෙම තරග පරාජයත් සමග ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන දෙවැනි වටයේ ‘ඊ’ කාණ්ඩයේ තවමත් දෙවැනි ස්ථානයේ පසුවෙයි. එම කාණ්ඩයේ ප්‍රථම ස්ථානය තමන් දෙවැනි වටයේ තරග කළ තරග ද්විත්වයම ජයගත් සැමෝවා කණ්ඩායමට හිමිව තිබේ.

ශ්‍රී ලංකා-සැමෝවා අතර තරගයේ පළමු කාර්තුව ලකුණු 17-13ක් ලෙස ජයගෙන ඉදිරියෙන් සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. එහෙත් ලබාගත් එම ජය ඉතිරි කාර්තු තුන තුළදී රැකගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අපොහොසත් වූහ. ඒ අනුව දෙවැනි කාර්තුව ලකුණු 19-10ක් ලෙසද තෙවැනි කාර්තුව ලකුණු 17-13ක් ලෙසද සිව්වැනි කාර්තුව ලකුණු 16-15ක් ලෙසද ජයගනිමින් තරගයේ සම්පූර්ණ පාලනය තමන් වෙත නතු කරගැනීමට සැමෝවා ක්‍රීඩිකාවෝ සමත්වූහ. ඒ හේතුවෙන් තරගයේ අවසන් ලකුණු තත්ත්වය දිස්වූයේ සැමෝවා කණ්ඩායමට ගෝල 10 ක තියුණු ජයක් හිමි කරදෙමින් ලකුණු 65-55ක් වශයෙනි.

මෙම තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුව දැල තුළට විදීමේදී මෙන්ම පන්දුව ආක්‍රමණශීලී ලෙස රැගෙන යාමේදීද පිටියේ ඉතා දුර්වල ක්‍රීඩා විලාසයක් පෙන්වූ අතර, ඒ හේතුවෙන් ලබාගත හැකිව තිබූ ජයක් ඔවුන් වෙතින් ගිලිහී ගියේය. ශ්‍රී ලංකාව දෙවැනි වටයේ සහභාගි වන අවසන් තරගය අද (17දා) ෆීජී දේශයට එරෙහිවා ක්‍රීඩා කිරීමට නියමිතය. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට පමණ පැවැත්වීමට නියමිතය. මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ජයගත හැකිවුවහොත් ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ 13 සහ 14 යන ස්ථාන සඳහා තරග කිරීමේ අවස්ථාව හිමිවන අතර, යම් හෙයකින් පරාජයට පත්වුවහොත් 15 සහ 16 යන ස්ථානවලට තරග කිරීමේ අවස්ථාව උදාවේ.

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ වැඩිම ගෝල රැස් කළ ක්‍රීඩිකාවන් අතර තවදුරටත් පෙරමුණ තහවුරු කරගැනීමට ශ්‍රී ලංකාවේ තර්ජිනී සිවලිංගම් සමත්ව ඇත්තේ ගෝල 183ක් වාර්තා කරමිනි. එහි දෙවැනි ස්ථානය ජැමෙයිකානු ක්‍රීඩිකා ජැනීලී ෆව්ලර් හිමි කරගෙන ඇත්තේ ගෝල 152ක් දැළ තුළට විදිමිනි.

මීට අමතරව පන්දුව ආපසු හැරවූ දක්ශතම ක්‍රීඩිකාවන් අතර පළමු ස්ථානය ශ්‍රී ලංකා නායිකාව වන චතුරංගි ජයසූරියටද දක්ශතම මැද පෙළ ක්‍රීඩිකාවන් අතර, 04 වැනි ස්ථානය දුලාංගි වන්නිතිලකටද හිමිව තිබේ.

අද (17දා) තරගාවලියේ හයවැනි දිනයයි.  



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here