ලෝක කුසලානයේ පළමු තරගයෙන්ම එංගලන්තයට විශිෂ්ට ජයක්

12 වැනි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (30) එංගලන්තයේ ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගණයේ පැවති පළමු තරගයෙන් දකුණු අප්‍රිකාව පරාජය කර ලකුණු 104ක විශිෂ්ට ජයක් ලැබීමට සත්කාරක එංගලන්තය සමත් විය.

කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායකයාගේ තේරීම වූයේ පළමුව පන්දු යැවීමටය. ඒ අනුව පිටියට පිවිසි එංගලන්තය නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 8කට ලකුණු 311ක් ලබාගැනීමට සමත්විය.

එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ බෙන් ස්ටෝකස්ය. ඔහු ලකුණු 89ක් රැස්කිරීමට සමත් විය. ඊට අමතරව එංගලන්ත ඉනිමේ තවත් අර්ධ ශතක 3ක් වාර්තා විය. පන්දු යැවීමේදී එන්ගිඩි කඩුලු 3ක් බිඳහෙලු අතර, ඉම්රාන් තාහීර් හා රබාඩා කඩුලු 2 බැගින් බිඳහෙලීමට සමත් විය.

ලකුණු 312ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානුවන්ට පන්දුවාර 39.5කදී සියලුදෙනාම දැවීගොස් ලබාගතහැකි වූයේ ලකුණු 207ක් පමණි. සටන්කාමී ඉනිමක් ලොඩනැගූ කුවින්ටන් ඩී කොක් ලකුණු 68කට දැවී ගිය අතර, එම ඉනිමේ වාර්තාවූයේ තවත් එක් අර්ධ ශතකයක් පමණි.

ද.අප්‍රිකානුවන්ට ප්‍රබල තර්ජනයක් එල්ලකළ එංගලන්ත පන්දුයවන්නන් අතරින් ආචර් කඩුලු 3ක් බිඳ දැමූ අතර, ප්ලන්කට් හා ස්ටෝකස් අතර කඩුලු දෙක බැගින් බෙදී ගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here