ලෝක කුසලානය අරන් එන්න ස්මිත්ටයි, වෝනර්ටයි එන්න කියලා

එළැඹෙන මැයි මාසයේ 30 වැනිදා සිට එංගලන්තයේදී ආරම්භවීමට නියමිත ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සංචිතය අද (15) නම්කරනු ලැබීය. එහි විශේෂත්වය වන්නේ වසරක ජාත්‍යයන්තර ක්‍රිකට් තරග තහනමකට ලක්ව සිටි ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත් හා උපනායක ඩේවිඩ් වෝනර් එම තරග තහනමෙන් අනතුරුව මෙවර ලෝක කුසලානය වෙනුවෙන් නම්කරනු ලැබු 15දෙනෙකුගෙන් යුත් සංචිතයට ඇතුළත් කර තිබීමය. කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ ආරෝන් ප්‍රින්ච්ටය.

2018 වසරේ මාර්තු මාසයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය අතරතුරදි පැවති තෙවැනි ටෙස්ට් තරගය අතරතුරදී ඕස්ට්‍රේලියාන් කණ්ඩායමේ නවක ක්‍රීඩකයෙක්වූ කැමරන් බ්‍රැන්කොෆ්ට් හට පන්දුව පළුදු කිරිමට උපදෙස් ලබාදීම සහ එය වැළැක්වීමට කටයුතු නොකිරීම හේතුවෙන් ඔවුන් දෙදෙනාට වසරක කාලයක් සඳහා ජාත්‍යයන්තර ක්‍රිකට් තරග තහනම් කෙරිණි. බ්‍රැන්කොෆ්ට් හට මාස 9ක් ක්‍රිකට් තරග තහනම් කෙරිණි.

එම තහනමෙන් අනතුරුව මෙවර ලෝක කුසලාන තරගමාලාව වෙනුවෙන් ඔවුන් දෙදෙනාව යළි සංචිතයට එක් කිරීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබිණි.

වැඩිම වාරයක් ලෝක කුසලානය දිනාගත් ඕස්ට්‍රේලියානුවන් මෙවරත් එය තමන් සතුකරගැනීම සඳහා මෙම ප්‍රබල ක්‍රීඩකයන් යුගලය සංචිතයට ඇතුළත් කර ඇති බව ක්‍රීඩා විචාරකයන්ගේ මතයයි.

ඔවුන් දෙදෙනා මේදිනවල ඉන්දියාවේ පැවැත්වෙන IPL තරගාවලියටද එක්ව තිබේ.

එංගලන්තයේ හා වේල්සයේ මෙම තරගාවලිය පැවැත්වෙන බැවින් ඕස්ට්‍රේලියානුවන්ට මෙවර ලෝක කුසලානය දිනාගැනීමට හොඳ අවස්ථාවක් පවතී. ඒ ඕස්ට්‍රේලියාවේ ඇත්තේද එංගලන්තයට සමාන තණකොළ සහිත තණතීරු සහිත ක්‍රීඩාංගණ බැවිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here