ලොව වේගවත්ම කෙටි දුර ධාවකයා වසර දෙකකට ගෙදර යවයි..

තහනම් උත්තේජක චෝදනා සම්බන්ධයෙන් වන පරීක්ෂණ මග හැරීම හේතුවෙන් ලොව වේගවත්ම ක්‍රීඩක ඇමරිකාවේ ක්‍රිස්ටින් කොල්මන්ට වසර දෙකක තරග තහනමක් පනවන්නට ක්‍රීඩාවේ අවංකත්වය පිළිබඳ ඒකකය විසින් පියවර ගෙන තිබේ.

24වැනි වියෙහි පසුවන කොල්මන් 2019 ලෝක මලල ක්‍රීඩා ශූරතාවේ මීටර 100 ඉසව්ව සඳහා රන්
පදක්කමද දිනා තිබේ. ලෝක මලල ක්‍රීඩා ඉතිහාසයේ මීටර 100 ඉසව්ව සඳහා බිහිවූ වේගවත්ම
ක්‍රීඩකයන් අතර 6 වැනි ස්ථානයද කොල්මන්ට හිමිව ඇත.

ඉකුත් 2019 වසරේදී කොල්මන්ට අදාළ චෝදනා එල්ල වූ අතර ඒ සඳහා කරුණු විමසීමට තහනම් උත්තේජක නිවාරණ ආයතනයේ නිලධාරීන් විසින් අවස්ථා කිහිපයකදීම ඔහුගේ නිවසට
ගොස් තිබේ. නමුත් ඒ සියලු අවස්ථාවන්හිදීම කොල්මන් අදාළ නිලධාරීන්ව මග හැර ඇති අතර ඒ හේතුවෙන් නිලධාරීන් වෙත ඉදිරිපත් කර ඇති නිදහසට කරුණුද පරස්පර වී ඇත.

මේ සියලු කරුණු සැලකිල්ලට ගනිමින් කොල්මන්ට මෙම තහනම පනවන්නට අදාළ ඒකකය තීරණය කර ඇත. ඒ අනුව ඔහුට ලබන වසරේ පැවැත්වීමට නියමිත ටෝකියෝ ඔලිම්පික් උළෙලද මග හැරෙනු ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here