ලොවක් මවිත කළ, වීරයන් දණ ගැස්සූ සිංහ සෙයියාව

සත්කාරක එංගලන්ත කණ්ඩායම පරාජය කරමින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව ලැබු දෙවැනි ජය වාර්තා කිරීමට අද (21) සමත්විය. ඒ එංගලන්ත කණ්ඩායම ලකුණු 20කින් පරාජයට පත්කරමින් ලෝක කුසලානයේ ලොකුම පෙරළිය සිදුකිරමිනි.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලු 9කට ලකුණු 232ක් ලබාගත්තේ පෙර වැරදි සකසාගෙනය. මුල් තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නංගුරම වූ දිමුත් කරුණාරත්න හා කුසල් පෙරේරා යුගලයට ඊයේ (22) ලකුණු අතරට ඒමට එංගලන්ත පන්දුයවන්නන්ගෙන් ඉඩකඩ නොලැබිණි.

එහෙත් කලකට පසු ලකුණු අතරට පැමිණි ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලබාගත් ලකුණු 89, විශ්ව ප්‍රනාන්දුගේ ලකුණු 49 සහ කුසල් මෙන්ඩිස්ගේ ලකුණු 46 ඊට සුවිසල් දායකත්වයක් සැපයීය.

ලකුණු 233ක ඉලක්කයක් හඹායෑමට පැමිණි එංගලන්තය, අඛණ්ඩව එක්දින තරග 8කදී ලකුණු 300කඩඉම පසුකර තිබියදී ඔවුන්ගේ රටේදීම මෙවන් අඩු ලකුණු ගණනකට සීමාකිරීම වර්තමානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා විලාශයත් සමග සැසදීමේදී ‘අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්’ බවට පත්ව තිබිණි.

එහෙත් දිමුත්ගේ මගපෙන්වීම මත එකට එකතුවූ ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත පිතිකරුවන් එකිනෙකා ක්‍රීඩාගාරයට හරවා යවනු ලැබුවේ තරගයේ වාසිය කණ්ඩායම් දෙකටම සම තත්වයේ තබාගනිමිනි. වර්තමානයේ ප්‍රවේගකාරිම කණ්ඩායමක් වන එංගලන්තය පන්දුවාරයකට දල ලකුණු වේගය 4ට වඩා අඩු ගණනකට තබාගැනීමම ශ්‍රී ලංකාව ලැබු සුවිසල් ජයකි.

ලසිත් මාලිංග ප්‍රමුඛ පන්දුයැවීමේ බලඇණිය පන්දුවාර 47කදී එංගලන්තයේ සියලුදෙනා දවාගනු ලැබුවේ ලෝක කුසලානයට තරග වදින සෙසු කණ්ඩායම් නමයේම නළල රැළි ගන්වමිනි.

එංගලන්තය වෙනුවෙන් බෙන් ස්ටෝක් ලකුණු 82කින් සහ ජෝ රූට් ලකුණු 57කින් පිත්තෙන් දායකත්වය ලබාදුන්නද එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය.

පන්දුයැවීමේදී ලසිත් මාලිංග ලකුණු 43කට කඩුලු 4ක් බිඳදමනු ලැබුවේ තරගයේ වීරයා සම්මානය ද හිමිකරගනිමිනි. ඔහුට අනගි සහයක් ලබාදුන් ධනංජය ද සිල්වා කඩුලු 3ක් සහ ඉසුරු උදාන කඩුලු 2ක් බිඳහෙලුහ.

එම ජයග්‍රහණයත් සමගින් ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයට පැමිණියේ බංගලාදේශය 6 වැනි ස්ථානයට ඇද දමමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here