ලෝක කුසලානයේ අවාසනාවත් රැගෙන දකුණු අප්‍රිකාවත් කලින්ම ගෙදර යයි

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත්වන දෙවැනි කණ්ඩායම බවට පත්වීමට ඊයේ (23) දකුණු අප්‍රිකානුවන්ට සිදුවිය. ඒ පාකිස්තානය සමඟ පැවතී තීරණාත්මක තරගයෙන් ලකුණු 49ක ජයක් ලැබීමට පාකිස්තානය සමත්වීම නිසාවෙනි. තරගය එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙම තීරණාත්මක තරගයේ කාසියේ වාසිය හිමිවීමෙන් පසු පාකිස්තානු නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි ඔවුනට නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 7ක් බිඳවැටී ලකුණු 307ක් ලබාගැනීමට හැකිවිය.

වේගවත් ඉනිමක් ක්‍රියාත්මක කළ හැරිස් සොහයිල් පන්දු 59කදී ලකුණු 89ක් ලබාගත්තේ පාකිස්තානු ඉන්මේ නැංගුරම බවට පත්වෙමිනි. ඊට අමතරව බාබර් අසාම්ගේ පිත්තෙන් ලකුණු 69ක් වාර්තා විය. පන්දුයැවීමේදී නිගිඩි කඩුලු 3ක් සහ තාහීර් කඩුලු 2ක් ද බිඳදැමීය.

අවසන් පූර්ව වටයට පිවීසීමේ අවසන් බලාපොරොත්තුවත් හිතේ තබාගෙන පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට බට දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 259කට සීමාකිරීමට පාකිස්තානුවන් සමත්වූයේ කඩුලු 9ක්ද බිඳදමමිනි.

ඒ අනුව මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවත්වූ දෙවැනි කණ්ඩායම බවට පත්වීමට දකුණු අප්‍රිකාවට සිදුවූයේ ලෝක කුසලාන තරගයක අවසන් මහා තරගයකට හෝ සහභාගීවීමේ ඔවුන්ගේ සිහිනය තවත් වසර 4කට කල් දමමිනි.

නායක ඩු ප්ලෙසිස් ලකුණු 63ක් සහ ඩී කොක් ලකුණු 47ක් රැස් කළද ජයග්‍රහණය වෙනුවෙන් එය ප්‍රමාණවත් නොවීය. පන්දු යැවීමේදී වහබ් රියාස් හා ෂාඩාබ් ඛාන් කඩුලු 3 බැගින් බිඳහෙලමින් ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම දැමුහ.

මෙහිදී පාකිස්තානු කණ්ඩායමේ දුර්වල පන්දුරැකීම කැපීපෙනුණ සිදුවීමක් බවට පත්වූයේ ලබාගැනීමට හැකිව තිබූ පහසු උඩපන්දු කිහිපයක්ම ඔවුන් අතින් ගිලීහී ගිය බැවිනි. තරගයේ වීරයා සම්මානය පාකිස්තානයේ හැරිස් සොහයිල්ට හිමිවිය.

මේ වනවිට පාකිස්තානය ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ රැඳීසිටිනුයේ ප්‍රසාද ලකුණු 5ක් ලබාගනිමිනි. දකුණු අප්‍රිකාවට එහි 9වැනි ස්ථානය හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු 3ක් පමණක් හිමිවීම නිසාවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here