ලකුණු සමවූ තරගයේ සුපිරි පන්දුවාරයෙන් තාහීර් දකුණු අප්‍රිකාව දිනවයි

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ඊයේ (19) කේප්ටවුන්හිදි පැවති පළමු විස්සයි විස්ස තරගටයේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ පරිදි දෙපිලේම ලකුණු තත්වය සම වූ බැවින් සුපිරි පන්දුවාරයෙන් තරගයේ ජයග්‍රාහකයන් තීරණය කෙරිණි. එහි ජය දකුණු අප්‍රිකාවට හිමිකරදීමට සුපිරි පන්දුවාරය යැවූ ඉම්රාන් තාහීර් සමත්විය.


කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව දකුණු අප්‍රිකානු නායකයා ශ්‍රී ලංකාවට පළමුවෙන් පන්දුවට පහරදීමට ආරාධනා කරනු ලැබුවේ එක්දින තරගාවලිය 5-0ක් ලෙස පහසුවෙන්ම ශ්‍රී ලංකාව පරාජයට පත්කළ බැවින් හඹාගොස් ශ්‍රී ලංකාව පරාජයට පත්කිරීම අපහසු නොවනු ඇතැයි සිතූ නිසාවෙනි. ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පත්ව තබූ තත්වය අනුව එම තීරණයේ කිසිදු වරදක් ද නොවීය.


ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් යළිත් සුපුරුදු පරිදි සිය වගකීම අමතක කර ක්‍රීඩා කිරීම නිසාවෙන් පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දවාගනිමින් ලකුණු 134කට ශ්‍රී ලංකාව සීමාකිරීමට ඔවුනට හැකිවිය. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණ 41ක් ලබාගත් නවක ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ය. පන්දු යැවීමේදී පෙලුක්වායෝ ලකුණු 25කට කඩුලු 3ක් බිඳ දැමීය.


පන්දු 120කට ලකුණු 135ක් යනු විස්සයි විස්ස තරගයකදී තරගයක් දියහැකි ලකුණු සංඛ්‍යාවක් නොවේ. විශේෂයෙන්ම එක්දින තරගාවලිය 5-0ක් ලෙස ජයගත් දකුණු අප්‍රිකානුවන් හමුවේ එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවීය.


එහෙත් 15 වැනි පන්දුවාරය ආරම්භ කරන විට ලකුණු පුවරුව දැක්වූයේ ලකුණු 82ක් වශයෙනි. ඒ වනවිට ප්‍රබල දකුණු අප්‍රිකානුවන් යම් තරමකට පාලනය කරමින් නොතීබු ජයක සෙවනැල්ල විටින් විට ශ්‍රී ලංකා කණ්ඩායමට වැටෙමින් තිබිණි. දෙපිලේම ක්‍රීඩකයන් සිදුවන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව තුෂ්නිම්භූතවී බලා සිටියේය.


15 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ ඉසුරු උදානගෙන් ලකුණු 20ක් ඩැහැගැනීමත් සමග තරගය යළිත් කණපිට පෙරළිණි. අප්‍රිකානු ක්‍රීඩකයන් උද්දාමයට පත්වන්නටත් ඔවුන්ගේ ප්‍රේක්ෂකයන් ඔල්වරසන් නැගීමත් යළිත් අරම්භ විය.


එහෙත් විස්සයි විස්ස විශේෂඟයෙකූ වූ ශ්‍රී ලංකා නායකයා කළබල වූයේ නැත. 17 වැනි පන්දුවාරයේදී ඔහු පන්දුව අතට ගත්තේය. සිය අත්දැකීම් යොදාගනිමින් ප්‍රතිවාදීන් මනාව පාලනය කලේය. දුවද්දි දවාගැනීමක් සහ තවත් කඩුල්ලක් දකුණු අප්‍රිකානුවන්ට එම පන්දුවාරයේදී අහිමි විය. තරගය ජය යළිත් දෙපිලටම දෝලනය විය.


මාලිංග 19 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කරමින් තවත් කඩුල්ලක් බිඳදැමීය. මෙම පරිණත ක්‍රීඩකයා හමුවේ ප්‍රතිවාදීන් සියලු තුරුම්පු භාවිතා කරනු ලැබුවේ සිය ගෞරවය රැකගැනීම වෙනුවෙනි.


15 වැනි පන්දුවාරයේදී තරගය කණපිට හරවූ ඉසුරු උදානට අවසන් පන්දුවාරය යැවීමට ලබාදීමම ආන්දෝලනාත්මක සිදුවීමක් විය. එහෙත් මනාව ප්‍රතිවාදින් පාලනය කිරීමට සමත්වූ ඉසුරු උදාන අවසන් පන්දුවේදි ජයග්‍රහණයට ලකුණු 2ක ඉලක්කයක් ප්‍රතිවාදීන්ට ලබාදීමට සමත්විය.

අවසන් පන්දුව කඩුලු රකින ක්‍රීඩක දික්වැල්ල අතට ඇදීගිය අතර කඩුලු අතර දිවීමේදී පහසුවෙන් කඩුල්ල බිඳ දමා ජය ලැබීමට තිබූ අවස්ථාව දික්වැලලල අතින් ගිලිහිණි. ඒ නිසාවෙන් තරගයේ ලකණු සම විය.


සුපිරි පන්දුවාරය ක්‍රියාතුමක කල ලසිත් මාලිංගගෙන් ලකණු 14ක් ඩැහැගැනීමට ඩේවිඩ මිලර් ප්‍රමුඛ දකුණු අප්‍රිකානුවන් සමත් විය.


ලකුණු 15ක් හඹායෑම සඳහා පිටියට පිවිසි තිසර පෙරේරාට සහ විශ්ව ප්‍රනාන්දුට ඉම්රාන් තාහීර් හමුවේ ලබාගතහැකි වූයේ ලකුණු 4ක් පමණි.


තරගයේ වීරයා සම්මානය ඩේවිඩ් මිලර්ට හිමි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here