ලංකාවට අවමන් කළ රෂීඩ් ඛාන්ට දැවැන්ත ප්‍රහාරයක් – ක්‍රීඩාංගනයට හයේ වැස්සක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 24 වැනි තරගය ලෙස මේ වනවිට එංගලන්තය හා ඇෆ්ගනිස්තානය අතර තරගය මැන්චෙස්ටර්හිදී පැවැත්වේ. තරගයෙන් අර්ධයක් අවසන් වනවිටම එය ඉතිහාසගත තරගයක් බවට පත්වූයේ වාර්තා රැසක් අලුත් කළ තරගයක් බවට පත්වෙමිනි.

කාසියේ වාසිය දිනාගත් එංලන්ත නායක ඉයොන් මෝගන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තරගය නිමකරනු ලැබුවේ මෙවර තරගාවලියේ කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු ප්‍රමාණය මෙන්ම ලෝක කුසලාන තරගාවලියකදී ඔවුන් රැස්කළ වැඩිම ලකුණු ප්‍රමාණයද ලබාගනිමිනි. පන්දුවාර 50 තුළ කඩුලු 6කට ලකුණු 397ක් රැස්කිරීමට ඔවුහු සමත් වූහ.

එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නියැලූණු ඉයොන් මෝගන් පන්දු 71කින් ලකුණු 148ක් ලබාගත්තේ 6 පහර 17ක් සමගිනි. එය එක්දින තරගයකදී පිතිකරුවෙක් ලබාගත් වැඩිම 6 පහර සංඛ්‍යාව බවටද පත්විය. එපමණක් නොව එම ඉනිම තුළදී 6 පහර 25ක් වාර්තා වූ අතර, එක් ඉනිමකදී වාර්තා වූ වැඩිම 6 පහර ගණන වන්නනේද එයයි.


එංගලන්තය වෙනුවෙන් බෙයිස්ටෝ ලකුණු 90ක්, ජෝ රූට් ලකුණු 88කින් ලකුණු පුවරුව ඉහළ නැංවීමට දායක වූහ.

මෙවර ලෝක කුසලානයේදී දුර්වලම කණ්ඩායම ශ්‍රී ලංකාව බවත් ඔවුන්ව ලකුණු 115කට වඩා අඩු ප්‍රමාණයකට සීමාකර එම තරගය ජයගෙන ප්‍රසාද ලකුණු ලැයිස්තුවේ ඉහළට එන බවට ලෝක කුසලාන තරගාවලිය ආරම්භයට පෙර මාධ්‍යයට අදහස් දක්වමින් ශ්‍රී ලංකාවට අපහාස කළ රෂීඩ් ඛාන් මෙහිදී දැඩි ප්‍රහාරයකට ලක්වීම කැපි පෙණිනි.

ඔහු පන්දුවාර 9ක් පමණක් යවමින් ප්‍රතිවාදීන්ට ලකුණු 110ක් ලබාදන්නේ ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ පන්දුයවන්නෙකු ලබාදුන් වැඩිම ලකුණු ප්‍රමාණය ලබාදෙමිනි. ඔහුට දැවැන්ත 6 පහර 11ක් එල්ල වුවද එකදු කඩුල්ලක් හෝ දවාගැනීමට සමත් නොවීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here