යෝකර් කිං ලොවක් හඬවා විශිෂ්ට ජයකින් එක්දින ගමනට තිත තියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ තවත් එක් විශිෂ්ටයෙක් එක්දින ජාත්‍යන්තර තරග වලින් ඊයේ (27) ආර්.ප්‍රේමදාස ක්‍රිඩංගණයේදී සමුගත්තේ 25000කට අධික ප්‍රෙක්ෂකයන් පිරිසක් ක්‍රීඩංගණයේ අතුරු සිදුරු නැතිව පිරි සිටියදීය. ඔවුන්ට අමතරව මිලියන 20 ශ්‍රී ලාංකිකයන්ගේ දෙනෙත් මොහොතකට කඳුලින් තෙත්වූයේ ලසිත් මාලිංගගේ එම විශිෂ්ට කඩුලු දඩයම යළි දකින්ට නොලැබෙන බැවිනි.

බංගලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 91ක විශිෂ්ට ජයක් ලබාගනිමින් ලසිත් මාලිංගට ගෞරවාන්විත සමුගැනීමකට ඉඩකඩ විවර කළේය.

කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 315ක ප්‍රබල ඉලක්කයක් බංගලාදේශයට ලබාදුන්නේය. ඒ සඳහා පන්දුවාර 50 අවසානයේදී ඔවුනට වැයවූයේ කඩුලු 8ක් පමණි. කුසල් පෙරේරා ලකුණු 111ක් ලබාගනිමින් විශ්ෂ්ට ශතකයකින් තමාගේ ජේෂ්ටයාට සිය ගෞරවය පුද කළේය. ඔහු සමග ශතක සබඳතාවයකට දායක වූ කුසල් මෙන්ඩිස්ගේ පිත්තෙන් ලකුණු 43ක් වාර්තා විය. ඇන්ජලෝ මැතිව්ස් ඉතා අවාසනාවන්ත ලෙස ලකුණු 48දී දැවි ගියේය. පන්දු යැවීමේදී ෂෆියුල් ඉස්ලාම් කඩුලු 3ක් බිඳහෙලීය.

තමාගේ පළමු පන්දුවාරයේදීම බංගලාදේශ නායක තමීම් ඉක්බාල් දවාගනිමින් සිය කඩුලු දඩයම ආරම්භ කළ ලසිත් මාලිංග බංගලාදේශයේ අවසන් කඩුල්ල ද බිඳහෙලමින් ඔවුන්ගේ ඉනිමට තිත තැබීය. ඒ බංගලාදේශ ඉනිම පන්දුවාර 41.4කදී ලකුණු 223කට සීමා කරමිනි.

බංගලාදේශය වෙනුවෙන් මුශ්ෆිකර් රහීම් ලකුණු 67ක් සහ සබීර් රහමාන් ලකුණු 60ක් ලබාගත්හ. සෙසු පිතිකරුවන්ට සාර්ථකවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ඉඩක් නොලැබිණි. මාලිංග කඩුලු 3ක් ලබාගනිමින් එක්දින ජාත්‍යයන්තර තරග වල වැඩිම කඩුලුලාභීන් අකර 9වැනි ස්ථානයට පත්වූයේය. නුවන් ප්‍රදීප් කඩුලු 3ක් සහ ධනංජය සිල්වා කඩුලු 2ක් ලබාගත්හ.

එක්දින තරග වලින් සමුගත්තද ලසිත් මාලිංග තවදුරටත් විස්සයි විස්ස පිටියේදී අපිට දැකගතහැකි වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here