මාලිංගට ෆේස්බුක් ඇවිත් එහෙම කියන්න සිදුවුනේ ඇයි?

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන ලසිත් මාලිංග පසුගියදා නිමාව දුටු ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් පසු කුමන මොහොතක හෝ ක්‍රීඩාවෙන් සමුගනු ඇතැයි බොහොදෙනෙකු අපේක්ෂාවෙන් පසුවිය. එහෙත් මේ වනතෙක් ඒ පිළිබඳව ලසිත් මාලිංග හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කර නොතිබුණි.

එනමුත් ඊයේ (22) රාත්‍රියේ ලසිත් මාලිංග සිය බිරිඳගේ ෆේස්බුක් ගිණුම හරහා තමාගේ ප්‍රකාශයක් සහිත වීඩීයෝවක් මුදාහැර තිබූ අතර, එය මෙරට ක්‍රීඩාලෝලීන්ට නම් එතරම් සතුටුදායක පුවතක් නොවීය. එහි එක් තැනෙක ඔහු මෙලෙස සඳහන් කර තිබුණි.

“මට නිල ෆේස්බුක් පිටුවක් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් නැහැ. ඒ නිසයි⁣ මම මගේ බිරිඳගේ ගිණුමෙන් මේ සජීවී විකාශයට එන්නේ. මම මීට දින කිහිපයකට පෙර මම මේ මස 26 වැනිදා පැවැත්වෙන තරගයෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දුන්නා. එක මම මේ අවස්ථාවේ දී නිල වශයෙන් තහවුරු කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගේ ඉල්ලීමට ඉඩදීලා යහපත් ප්‍රතිචාරයක් ලබා දුන්නා.”

ඒ අනුව ජාත්‍යන්තරයේ දේශීය සන්නාමයක් වූ ලසිත් මාලිංග නම් 35 හැවිරිදි මේ විශිෂ්ටයා තමාගේ අවසන් එක්දින තරගය මෙමස 26 වැනි දින ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා කරනු ඇත. එය ඔහුගේ අවසන් එක්දින තරගය වනු ඇත. ඒ නිසාවෙන්ම මාලිට ආදරේ කරපු හැමෝටම 26වැනිදා ඛෙත්තාරාමයට එන්න යැයි ඔහු පැවසුවේ මෙලෙසිනි.

“මගේ අවුරුදු 16ක ක්‍රිකට් ජීවිතය තුල ලැබුණු සෑම අභියෝගයක්ම ජයගන්නා මට ඕගොල්ලෝ හැමෝගෙම ශක්තිය හම්බුනා. ඒකට ස්තුතිවන්ත වෙන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. මම ඕගොල්ලෝ හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා මම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන අවසන් එක්දින තරගය පුළුවන් නම් බලන්න එන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා. මොකද ඒ තරගයෙන් පස්සේ මාව ආයෙත් ජාත්‍යන්තර එක්දින පිටියේ දී දකින්නේ වෙන්නේ නැහැ. ඒ වගේම මෙච්චර කාලයක් කණ්ඩායමෙන් එළියට දන්නා එකතු වෙලා හරි අනුන්ගේ කීමට හරි උත්සාහ කරපු අයට මම අනුකම්පා කරනවා. ඕගොල්ලෝ සියලුම දෙනාම 26 වැනිදා එයි කියලා මම බලාපොරොත්තු වෙනවා.”

ලසිත් මාලිංග බංගලාදේශය සමගින් පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගයේදීම සමුගැනීමට අවශ්‍ය බව ක්‍රිකට් ආයතනයට දන්වා තිබුනද, ක්‍රිකට් ආයතනය විසින් මාලිගෙන් එම තරග තුනම ක්‍රීඩා කර සමුගන්නා ලෙස ඉල්ලීම් කර තිබූ බවද සඳහන් විය. එමනිසා මාලිංගගේ සමුගැනීම පිළිබඳ නිල ප්‍රකාශයක් මෙරට ක්‍රීඩාලෝලීන්ට නොවූ බැවින් මාලිංගට සිය බිරිඳගේ ෆේස්බුක් ගිණුමෙන් මෙලෙස වීඩීයොවක් මුදාහරින්නට සිදුවිය. එයට හේතුව මාලිංගට ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් නොවීමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here