මහාමායාවන්ගේ වසර 20ක වාර්තාව විශාකාවන් බිඳ දමයි

පසුගියදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී නව තරග වාර්තා 41ක් බිහි කරමින් පැවැති 46 වැනි ශ්‍රී ලංකා පාසල් පිහිණුම් ශූරතාවලියේදී කාන්තා අංශයෙන් ජය ලබාගැනීමට කොළඹ විශාකා විද්‍යාලය සමත් වුණා. ඔවුන් ලබාගත් ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 509ක්. ලකුණු 398ක් සමගින් එහි දෙවන ස්ථානය මහනුවර මහමායා විද්‍යාලය ලබාගත් අතර තෙවැනි ස්ථානය ලකුණු 329ක් ලබාගත් සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය ලබාගැනීමට සමත් වුණා.

එසේම මෙහි විශේෂත්වය වන්නේ වසර 20ක් පුරාවට මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය හිමිකරගෙන තිබූ ප්‍රථම ස්ථානය කොළඹ විශාකා විද්‍යාලය මෙවර බිඳ හෙලීමට සමත් වීමයි.

මෙම තරඟාවලියේ පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය ලකුණු 453ක් ලබාගත් කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය හිමිකරගත් අතර,  ලකුණු 378.5ක් ලබාගත් ශාන්ත පීතර කණ්ඩායම දෙවැනි ස්ථානය දිනාගනු ලැබුවා. ලකුණු 298ක් ලබාගත් කොළඹ ආනන්ද විද්‍යාලයට හිමිවූයේ තරගාවලියේ තුන්වන ස්ථානයයි.

ලකුණු 45ක් සමගින් නව තරග වාර්තා 3ක් ලබාගත් ශාන්ත පීතර විද්‍යාලයේ විහඟ කල්දේරා පිරිමි වයස අවුරුදු 12න් පහල ඒකල ශූරතාවය දිනාගනු ලැබුවා. එසේම වයස අවුරුදු 14න් පහල ශූරතාවය හිමිවූයේ නව වාර්තා 3ක් බිහිකළ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ බිහඳු හංසනටයි.

කාන්තා අංශයෙන් අවුරුදු 18න් පහළ ඒකල ශූරතාවය දිනාගැනීමට සමත් වූයේ  කොළඹ විශාඛා විද්‍යාලයේ රමුදි සමරකෝන් විසින්. ඒ ඇගේම වාර්තා 3ක් අලුත් කරමින්. එසේම අවුරුදු 20න් පහල ඒකල ශූරතාවය දිනාගනු ලැබුවේ ද නව තරග වාර්තා 3ක් බිහිකළ එම විද්‍යාලයේම සඳු සාවින්දි විසින්.

අයි.එම්.හාතීම් (ශාන්ත පීතර විද්‍යාලය), ඔනෙලි යහම්පත් (ලයිසියම් ජාත්‍යන්තර පාසල -නුගේගොඩ), හිරුකි ද සිල්වා (ගේට්වේ පාසල – දෙහිවල) සහ සඳෙව් සේනාරත්න (ආනන්ද විද්‍යාලය) යන ක්‍රීඩකයන් ලකුණු 40 බැගින් ලබාගත් අතර ඔවුන් සියලු දෙනා ඔවුන් අයත් වයස් කාණ්ඩවල ඒකල ශූරතාවය දිනාගනු ලැබුවේ වාර්තා දෙක බැගින් බිහි කරමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here