මම මැරුනොත් ඒකට කමක් නැහැ, නමුත් ඔබ මියගියොත් ඒක අපේ රටට විශාල පාඩුවක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වූ කුමාර් සංගක්කාර මහතා විසින් ඔහු ඇතුළු සිය කණ්ඩායමට 2009 වසරේදී පාතිස්තානයේදී එල්ල වූ ත්‍රස්ථ ප්‍රහාරය පිළිබඳව 2011 වසරේ ජූලි 5 වැනි දින ලාහෝර් නගරයේදී සිදුකළ දේශනය ඇසුරින් සකස් කළ ලිපියක් සුලක්කන අංජානි විසින් සිංහල භාෂාවට පරිවර්භාථනය කර ඇති අතර, මෙහි ඇත්තේ එම පරිවර්තනයයි.

“ශ්‍රී ලංකාව තුළ කෙදිනකදීවත් ප්‍රචණ්ඩත්වය මා විසින් අත්දැක නොතිබූ හෙයින් මම වාසනාවන්ත අයෙක් වූයෙමි. වසර ගණනාවක් පුරාවටම බෝම්බ පිපිරීම් රැසක් සිදුවූ නමුත් මා ඒ කිසිදිනක වැරදි ස්ථානයේ,වැරදි වේලාවේ සිට නැත්තේය.

ඉදහිට සිදුවූ බෝම්බ පිපිරීම් හැරුණුකොට,කොළඹ ජීවිතය සාපේක්ශ වශයෙන් සාමාන්‍ය එකක් විය. එහි වෙසෙන්නන්ට යුද්ධයෙන් භෞතිකව වෙන්ව සිටීමේ සුඛ සම්පත්තිය තිබුණේය. ළමයි පාසලට ගියහ. ජනතාව වැඩ රාජකාරි වලට ගියහ.මම මගේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව සිටියෙමි.


නමුත් රටේ අනිකුත් ප්‍රදේශ වල මිනිසුන්ගේ ජීවිත හානිකර දෙසට යොමු වෙමින් තිබුණේය. ඒ මව්බිම රැකගැනීමට පෙරට යාම හෝ තමන් යුධ කලාපයක වෙසෙන්නන් බවට පත්කළ භූගෝලීය තත්ත්වයන් මත නොනැසී සිටින්නට වෙර දැරීම නිසාය.


ඔවුන්ට දිවි රැකගැනීම උදෙසා වෙඩි උණ්ඩ,ෂෙල් වෙඩි,බිම් බෝම්බ,අත් බෝම්බ ආදියෙන් වැළකී සිටීම අත්‍යවශ්‍යම විය. මා තුළ ඔවුන් පිළිබදව ඉමහත් දයාවක් හා අනුකම්පාවක් තිබුණි;නමුත් ඒ හා සමාන්තර වූ කිසිදු සැබෑ අත්දැකීමක් නොවිණි.


එහෙත් එය එසේ වූයේ අප 2009දී පාකිස්ථානයේ තරග සංචාරයකට යනතෙක් පමණි. ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩා කිරීම සදහා අපි කරච්චි හා ලාහෝර් බලා පිටත් වුණෙමු. පළමු ටෙස්ට් තරගයේදී එතරම් විශේෂයක් නොවුන අතර අප සැහැල්ලු ලෙස ක්‍රීඩා කළෙමු.


තෙවන දිනයේ දෙවන ටෙස්ට් තරගයෙන්ද අප පිටියෙන් ඉවත්වන විට විශිෂ්ට පළමු ඉනිමක් ගොඩනගාගෙන සිටියෙමු. පාකිස්ථානු බසය එනතෙක් රැඳී සිටිනවා වෙනුවට වේලාසනින් පිටත්ව යන ලෙස දැනුම්දෙන ලදුව,අප සිටියේ පන්දු යවන්නන්ට වෙහෙසකර දිනයක් පිළිබඳව පෙරමග බලමින්ය.


බසයේ පිටුපස අසුන්වල වේගපන්දු යවන්නෝ උස් හඬින් යුතුව මැසිවිල්ලකය. විශේෂයෙන් තිලාන් තුෂාර ඔහුගේ කොඳුපෙළ කැඩෙන්නට තරම් ආසන්න බව කියූ අයුරු මට මතකය. එපමණක් නොව,බෝම්බයක් හෝ පුපුරා ගොස් ලාහෝර් අතැර දමා අපට නිවෙස්වලට යන්නට ඇත්නම් යැයි ඔහු විහිළුවක්ද කළේය. 


ඉනික්බිති තත්පර 30ක් ගතවන්නටත් මත්තෙන් අපට අසෙන්නට වූයේ යම් වෙඩි හඬකි. එක්වරම ඉදිරිදෙසින් කෑගැසීමක් ඇසිණි, “පහළට වෙන්න! එයාලා බස් එකට වෙඩි තියනව!”.
ප්‍රතික්‍රියාව ක්ෂණික විය. සියල්ලෝම ආවරණයන් සොයා යුහුසුලුව අසුන් පිටුපස හා අතරමැද ඉඩෙහි වැතිරුණහ. ඒ කුඩා ඉඩ තුළ, අප සැම එකා මත එකා දිගා වී හුන්නෙමු.


අනතුරුව වෙඩි උණ්ඩ වදින්නට පටන්ගත්තේය. ඒ ශබ්දය ටින් වහලයකට වැටෙන වර්ෂාවක් බඳුය. බස් රථය නිසොල්මනේ තිබූ බැවින් එය තුවක්කුකරුවන්ට පහසු ඉලක්කයක් විය. බස් රථය පසාරු කරමින් වෙඩි වදින්නට වූ කල,අපට කළ හැකිව තිබූ එකම දෙය වූයේ මරණයක් හෝ තුවාලයක් සිදුනොවන්නට ප්‍රාර්ථනා කරමින් නිශ්චලව,නිශ්ශබ්දව රැඳී සිටීම පමණි.


එක්වරම මහේල,පිටුපස සිට කෑගැසුවේ ඔහුගේ දණහිසට පහළින් වෙඩි වැදී ඇති බවයි. මම වැතිර සිටින්නේ තිලාන් අසලය. කලවට පිටුපසින් වෙඩි උණ්ඩයක් වැදී ඇති ඔහුද වේදනාවෙන් කෙඳිරිගායි. මා ඔහු දෙස බැලීමට හිස හරවනවාත් සමගම යම් දෙයක් ක්ෂණිකව මගේ කන අසලින් ඇදීගිය බවක් මට දැනුණි. ඒ වෙඩි උණ්ඩයකි. තත්පර කිහිපයකට පෙර මගේ හිස ස්ථානගතව තිබූ තැන හරහා ගොස් එය ආසනයකට වැදිණ. නැවත ක්ෂණයකින් මගේ උරහිසට යමක් තදින් වැදිණි. ඒ හිරිවැටීමත් සමගම මා ද වෙඩි පහරට ලක් ව ඇති බව දැනගතිමි. කෙසේ නමුත් හිසට වෙඩි නොවැදුණු බැවින් එය මට අස්වැසිල්ලක් විය.


තම පළමු සංචාරය පැමිණි තරංග පරණවිතාන ද මා අසලය. ඔහු නැගී සිටියි;ඔහු වටා වෙඩි උණ්ඩ ඇදී යයි;”මට වෙඩි වැදුනා”යි කියමින් ඔහු තම රුධිරයෙන් තෙත් වූ පපුව අල්ලාගෙන සිටියි.අවසානයේ ඔහු ආසනය මත සිහසුන්ව ඇදවැටුණේය. පළමු පන්දුවේදීම ඉවත් වී යන්නට වුණු, ඊළඟ ඉනිමේ දුවන විට ඉවත් වන්නට වුණු,අවසානයේ වෙඩි වැදුණු,ඔහුගේ ප්‍රථම සංචාරය මේ තරම් බියකරුදැයි මට සිතුණි.


අපගේ සිතීම කොතරම් නම් පැහැදිලි වූවක්ද යන්න විටෙක අමුතුම දෙයකි. මම මගේ ජීවිතය ආවර්ජනය කරන්නට නොගියෙමි. එවේලෙහි කිසිදු මුග්ධ,කලබලකාරී ස්වරූපයක් තිබුනේද නැත. එහි තිබුණේ ඒ මොහොත පිළිබඳව පරිපූර්ණ පැහැදිලිභාවයක් හා දැනුවත්භාවයක් පමණි.
බස් රථය පණගැන්වී ඉදිරියට ඇදීයනු මට ඇසිණ. ඩිල්ෂාන් රියදුරුට උස් හඬින් අණ දුන්නේය, “drive,drive..” තරංග පරණවිතාන සිටගනියි. උරෝස්ථියේ යන්තමින් රැඳී තිබෙන වෙඩි උණ්ඩය සමග තවමත් ඔහුගේ තුවාලයෙන් රුධිරය වහනය වේ. උණ්ඩය අස්ථියෙන් එහාට යාම වළක්වාගතයුතු හෙයින්,බස් රිය එහි වේගය ප්‍රවේශමෙන් පාලනය කරගනිමින් විත් නැවතුණේය.අවසානයේ අප ක්‍රීඩාංගනයේ ආරක්ෂාව තුළ වීමු.


බස් රියෙන් බැසීමේදී තරමක තදබදයකි. තම සගයන්ගේ සහයෙන් තිලාන් බස්‍ රියෙන් බැස්සේය. විවේකාගාරය තුළ නොයේකවිධ වූ හැඟීම් සාගරයක් මෙන් විය.

කෝපය,සැනසීම,විනෝදය,සියල්ලම එහි විය. ක්‍රීඩකයෝ හා පුහුණුකරුවෝ අනුපූරක වෛද්‍යවරුන් විසින් පරීක්ෂාවට ලක් කරන ලදි. තිලාන් සහ පරණවිතාන ගිලන්රථයකින් රෝහලට යැවිණි.


අපි සියලුදෙනා විවේකාගාරයේ වාඩිගෙන සිදුවූ දෙය පිළිබඳ කතා කළෙමු. මද වේලාවකින් විහිලුතහලු මෙන්ම සිනා හඬද ගලා ආවේය. අප කණ්ඩායම ජීවිතයේ ප්‍රථම වතාවට ප්‍රචණ්ඩත්වයේ ගොදුරක් බවට පත්ව සිටියෙමු. කෙසේ හෝ අපි දිවිගලවාගත්තෙමු. 
එදින අප වටහාගත්තේ වසර 30ක් පුරාවට අපේම ශ්‍රී ලාංකික සගයින් දිනයක් පාසා විඳින ඛේදනීය අත්දැකීමයි. ඔවුන්ගේ ධෛර්යයත් පරාර්ථකාමි බවත් කෙරෙහි අප සිත්හි ජනිත වූයේ නවමු ගෞරවයකි.


ප්‍රහාරයෙන් වූ හානිය අප ඉක්මනින් ජයගත් ආකාරය විශේෂිත විය. කායිකව ආබාධයන්ට ලක්ව තිබුණද,මනසින් අප සිටියේ ඉතා ශක්තිමත්වය. පැය කිහිපයකට පසු අප ගුවන් මගින් ලාහෝර් ගුවන් හමුදා මූලස්ථානයට රැගෙන යන ලදි.


පැලීම් තුවාල රැසක් තිබූ බැවින් වෙළුම්පටි වලින් හිස වෙළාගෙන සිටි අජන්ත මෙන්ඩිස්,කාඩ් සෙල්ලම් කිරීමට යෝජනා කළේය. තිලාන්වද නැවත රැගෙන ආ අතර ඔහු අප්‍රාණිකව නමුත් පූර්ණ සිහියෙන් යුතුව සිටියේය. අප ඔහුට විහිලු කළ විට ඔහුද පෙරළා සිනාසීය.


වෙඩි බෝම්බ මෙන්ම අත් බෝම්බ ප්‍රහාරද එල්ල වූ නමුත් ඒ කිසිවකට අපව දුර්වල කිරීමට හැකිවූයේ නැත. අප කිසිලෙසකින්වත් වැටුණේද නැත. “අපි ශ්‍රී ලාංකිකයෝ, අපට තියෙන්නේ ඕනෑම අභියෝගයක් ජයගැනීමට හැකි තරම් ශක්තියක්, මොකද අපේ හිත් හයියයි”, අප හැමගේම සිත් කීවේ එලෙසය.


ප්‍රහාරයෙන් පසුව සම්මුඛ සාකච්ජා හමුවේ ලොවම දුටුවේද එයයි. අපගේ හැසිරීම ඉතාමත් සන්සුන්, ඒකාත්මික මෙන්ම තර්කානුකූල එකක් විය. නිල නොවන නියෝජිතයන් ලෙස අපගේ චරිතයට අපගේ සිතුවිලි මනාව ගැළපිණ.


ලාහෝර් සිට නැවතත් කොළඹට පැමිණ සතියකට පමණ පසු, නගරයේ රිය පදවමින් සිටින අතරතුර එක් මුරපළකදී මගේ වාහනය නවත්වන ලදි. එහිදී එක් යුදසෙබළෙක් මා වෙත පැමිණ ලාහෝර් සිදුවීමෙන් පසු මගේ සෞඛ්‍ය තත්ත්වය කෙසේදැයි විනීත අයුරින් විමසා සිටියේය. මා සුව අතට හැරී ඇති බව පැවසූ මම තවත් දෙයක් මගෙ පිළිතුරට එක් කළෙමි, එනම් ඔවුන් යුදසෙබළුන් ලෙස දිනක් පාසා මුහුණදෙන අත්දැකීම අප ලැබුවේ මිනිත්තු කිහිපයකට පමණක් වූවත් සෑම පුවත් සිරස්තලයක්ම වාර්තා කර සිටියේ අප පිළිබඳ පමණක්ය යන්නයි. ඒ අසා සිටි ඔහු මගේ දෙනෙත් දෙස බලා කීවේ මෙපමණකි, “මම මැරුනොත් ඒක කමක් නැහැ,මොකද ඒක මගේ රැකියාව නිසා..මම ඒකට සූදානම්. නමුත් ඔබ වීරයෙක්, ඔබ මියගියොත් ඒක අපේ රටට විශාල පාඩුවක්.”


ඒ වචන මා මොහොතකට නතර කරලීය. මේ මිනිසා මගේ ජීවිතයට වඩා ඔහුගේ ජීවිතයේ අගය අඩු කොට සලකන්නේ කෙසේද? ඔහුගේ අවංකභාවය අතිවිශාලය. මට දැනුණේ නිහතමානී හැඟීමකි.


ක්‍රිකට් ක්‍රීඩාව සහ එහි ක්‍රීඩකයෝ ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් හි පුබුදු කළ හැඟීම එයයි. මගේ වෘත්තියේ වටිනාකම වෙනුවෙන් මා දිනපතා දරන ප්‍රයත්නයට ලැබෙන ආදරය මෙයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here