මගේ දැනුම ලබාදෙන්න කැමතියි – ලසිත් මාලිංග

පසුගියදා පැවති තරග තුනකින් යුත් ශ්‍රී ලංකා – නවසීලන්ත තරගාවලියේදී අවසන් තරගයේදී ලබාගත් කඩුලු ත්‍රිත්වය පිළිබඳව තමා සතුටු වන බවත්, කණ්ඩායමට දිය හැකි උපරිම දායකත්වය ලබාදෙන බවත්, ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසු ශ්‍රී ලංකාවට හෝ වෙනත් රටකට තම දැනුම පිළිබඳව කැමැත්තක් ඇති වුවහොත් එය ලබාදීමට ඉතා සතුටින් කටයුතු කරන බවත් ශ්‍රී ලංකා 20-20 කණ්ඩායම් නායක ලසිත් මාලිංග ප්‍රකාශ කර සිටියා.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ  අවසන් තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට අදහස් දක්වමින්.

එසේම මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා හේතුවෙන් අයිසීසී 20-20 ශ්‍රේණිගතකිරීම්හි වෙනස්කම් රැසක් සිදුවී තිබෙනවා.

ඉන් ප්‍රධාන වන්නේ අවසන් තරගයේදී ලසිත් මාලිංග පිට පිට පන්දු 4කදී දවාගත් කඩුලු 4 ඇතුළුව දවාගත් කඩුලු 5 හේතුවෙන්  20-20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගතකිරීම්හි ස්ථාන 20කින් ඉදිරියට ඒමයි. ඒ අනුව 41 වැනි ස්ථානයේ සිටි ඔහු දැන් පසුවන්නේ 21 වැනි ස්ථානයෙයි.

එසේම පිතිකරණ අංශයෙන් දැක්වූ දක්ෂතා හේතුවෙන් කුසල් මැන්ඩිස් 40 වැනි ස්ථානයට ද, නිරෝෂන් දික්වැල්ල 54 වැනි ස්ථානයට ද, පන්දු යවන්නන්ගේ අංශයෙන් ඉසුරු උදාන 50 වැනි ස්ථානයට ද, ලක්ෂාන් සඳකැන් 70 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබීම ද විශේෂත්වයක් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here