බිනුර ශ්‍රී ලංකා පිතිකරුවන්ට පන්දු යැවීමෙන් සහය වෙයි

ශ්‍රී ලංකාව සතුව වර්තමානයේ සිටින උසින් වැඩිම වේග පන්දු යවන්නා වන බිනුර ප්‍රනාන්දු එංගලන්ත ප්‍රාන්ත ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගි වෙමින් සිටියදී, හෙඩින්ලි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට පන්දු යැවීමෙන් සහය වූ ආකාරය දැකගත හැකි විය.

වමතින් වේග පන්දු යවන 23 හැවිරිදි බිනුර, ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 ජාත්‍යන්තර තරග දෙකකට ක්‍රීඩා කර තිබේ. අඩි 6.6කින් උස වීම නිසා ඔහු වයස 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන කාලයේ කතා බහට ලක්විය.

මෙම පුහුණු සැසියට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එතරම් දස්කම් දක්වන සහාය පන්දු යවන්නන් (නෙට් බෝලර්) ලබාදී නොතිබුණු අතර, බිනුර හේතුවෙන් එම අඩුව තරමක් මග හැරුණි. බිනුර මේ වනවිට බටහිර යෝක්ෂයර් ප්‍රාන්ත ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගි වෙමින් සිටී.

මෙහිදී අදහස් දැක්වූ බිනුර මෙසේ පැවසීය.

“අපේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු මට මුණගැසුණා. සර් මගෙන් ඇහුවා පන්දු යවන්න එනවද කියලා. මම ආවා. මම දැන් ක්‍රීඩා කරන්නෙ ප්‍රාන්තවලට එක් කොටසක් පහළ තරගාවලිය වන ප්‍රීමියර් ලීග් තරගාවලියට. ප්‍රාන්ත තරගාවලියේ අසාර්ථක වන ක්‍රීඩකයන් සාර්ථක වෙන්න එන්නෙ මේ තරගාවලියටයි. හොඳ තරගාවලියක්. මට අවස්ථාවක් ලැබුණොත් ක්‍රීඩා කරනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් නැවත කැඳවීමක් ලැබෙයි කියලා හොඳ බලාපොරොත්තුවක් තිබෙනවා. මෙහෙ හොඳට ක්‍රීඩා කරලා ශ්‍රී ලංකාවටත් මගේ හැකියාව දෙන්න සූදානමින් ඉන්නවා. අපේ වේගපන්දු යවන්නන් හොඳින් පන්දු යැව්වා. මම හිතනවා ඔවුන් ඉදිරියටත් හොඳින් ක්‍රීඩා කරයි කියලා.*

බිනුර ඔහුගේ ක්‍රීඩා දිවිය පිළිබඳවද මෙසේ අදහස් දැක්වීය.

&මම 2015 වසරේ පාකිස්තානයට එරෙහිව විස්සයි20 තරග දෙකකදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා. ඉන් පසුව මගෙ පාදයේ ආබාධයක් ඇති වුණා. නැවත 2018 වසරේ අගෝස්තු මස මාව විස්සයි20 සංචිතයට කැඳෙව්වා. ඊට පස්සෙ අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසා මම හිතුවා අත්දැකීම් ලබාගන්න එංගලන්තයට පැමිණ ක්‍රීඩා කරන එක හොඳයි කියලා.

එංගලන්තයේ හොඳ තණතීරුවල ක්‍රීඩා කරනවා. මෙහෙ පන්දුවත් වෙනස්. මෙහෙ තරග හතරක් ක්‍රීඩා කළා. දැන් මම තරග හතරකදී කඩුලු 15ක් දවාගත්තා. වේග පන්දු යවන්නන්ට උචිත තණතීරු තමයි ලැබෙන්නේ. ඒ අත්දැකීම් උපරිමයෙන් ගන්න බලාපොරොත්තු වෙනවා. කෞෂාල් සිල්වා සහ චාමර කපුගෙදර ඇතුළු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් කීපදෙනකුම එංගලන්ත ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගි වී සිටිති.

photo : sameera peiris

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here