සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා සත්කාරක ඉන්දියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3 කින් යුත් T20 තරගාවලියේ දෙවෙනි තරගය ඊයේ (7) පැවැත්වුණා. රාජ්කොට්හිදී පැවති එම තරගය කඩුලු 8කින් ජයගැනීමට ඉන්දියාවට හැකිවුණා.
එම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 153ක් රැස්කළා. මොහොමඩ් නයීම් ලකුණු 36ක්ද, සෞම්‍ය සර්කාර් සහ නායක මහ්මුදුල්ලාහ් ලකුණු 30 බැගින්ද, ලිටන් දාස් ලකුණු 29ක් රැස්කළ අතර අන් ක්‍රීඩකයින්ට ලකුණු 7 සීමාව පසු කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ.
යුශ්වේන්ද්‍ර චාහල් කඩුලු 2ක්ද, දීපක් චාහර්, වොෂින්ටන් සුන්දර් සහ කලීල් අහමඩ් කඩුලු 1 බැගින් ද දවාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දියානු කණ්ඩායම පන්දු වාර 15.4කදී කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසු කළා. රෝහිත් ශර්මා ලකුණු 85ක්ද, ශිකර් ධවාන් ලකුණු 31ක්ද, ශ්‍රේයාස් අයියර් නොදැවී ලකුණු 24ක් ද, කේ.ඒ.රාහුල් නොදැවී ලකුණු 8ක්ද රැස්කළා.
අමිනුල් ඉස්ලාම් පමණක් බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් කඩුලු 2ක් දවාගත්තා.
මෙම තරගාවලියේ පළමු T20 තරගය බංගලාදේශ කණ්ඩායම විසින් කඩුලු 7කින් ජයගනු ලැබුවා. ඒ ඉන්දියාවට එරෙහිව ඔවුන් ලැබූ මංගල T20 ජයග්‍රහණයයි.
දෙරට අතර තෙවන හා අවසන් T20 තරගය නොවැම්බර් මස 10 වැනිදා නාග්පූර්හිදී පැවැත්වීමට නියමිතයි.