බංගලාදේශයේ ලෝක කුසලාන සිහිනය ඉන්දියාව සුනුවිසුණු කරයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා බංගලාදේශය අතර ඊයේ (03) පැවති තරගයෙන් ලකුණු 28ක ජයක් ලැබීමට ඉන්දියාව සමත්විය. ඒ සමගම තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බංගලාදේශ සිහිනයට නැවතීමේ තිත තැබීමට ඉන්දියානුවන්ට හැකිවිය.

මේ වනවිට ලකුණු 13ක් ලබාගෙන ඉන්දියාව දෙවැනි ස්ථානයේ රැදී සිටින අතර, බංගලාදේශය ලකුණු 7ක් ලබාගෙන 7වැනි ස්ථානයේ රැඳී සිටී.

කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පළමුව පන්දුවට පහරදෙමින් ලකුණු 314ක් ලබාගැනීමට සමත්වූයේ කඩුලු 9ක් ප්‍රතිවාදීන්ට ලබාදෙමිනි. ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ රෝහිත් ෂර්මා ශතකයක් ලබාගත්තේ ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වශයෙනි. ඒ ලකුණු 104ක් රැස්කරමිනි. ඔහුට අනගි සහයක් ලබාදුන් ලෝකෙෂ් රාහුල් ලකුණු 77ක් ලබාගත්තේ පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 180ක් බවට පත්කරමිනි. රිෂාන්ට් පාන්ට් අවාසනාවන්ත ලෙස අර්ධ ශතකය පෙනී පෙනී තිබියදී ලකුණු 48දී දැවී ගියේය. පන්දු යැවීමේදී මුෂ්ටෆිසර් රහමාන් කඩුලු 5ක් බිඳදැමීය.

ලකුණු 315ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය බංගලාදේශයට පන්දුවාර 48 අවසානයේදී සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 286ක් පමණි. බංගලාදේශයට අවසන් පූර්ව වටයට පැමිණීමට නම් මෙම තරගය ජයගැනීම අනිවාර්ය විය.

බංගලාදේශය වෙනුවෙන් මොහොමඩ් සයිෆුදීන් ලකුණු 51ක් ලබාගැනීමට සමත්විය. ඉන්දියාව වෙනුවෙන් ජෂ්පිට් බූම්රා කඩුලු 4ක් සහ හාර්ඩික් පාන්ඩ්‍යයා කඩුලු 3ක් ද බිඳදැමූහ.

තරගයේ වීරයා සම්මානය රෝහිත් ෂර්මාට හිමිවිය. අද (03) එංගලන්තය හා නවසීලන්තය අතර තරගය පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here