පාකිස්ථානයට නොගිය ජ්‍යෙෂ්ඨයින්ට ඕස්ට්‍රේලියා සංචාරය අහිමි වෙයි

සත්කාරක පාකිස්ථානු කණ්ඩායම සමගින් පැවැත්වුණු එක්දින තරග 3කින් සහ T20 තරග 3කින් සමන්විත ක්‍රිකට් තරගාවලිය ඊයේ (09) අවසන් වුණා. ඒ T20 තරගාවලියේ ජය 3-0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම හිමිකරගනිමින්.


මෙම තරගාවලිය සඳහා සහභාගී වීම ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 10 දෙනෙකු විසින් ප්‍රතික්ෂේප කර තිබුණු අතර ඒ පිළිබඳව බොහෝ සෙයින් කතාබහට ලක්වුණා.

ඊයේ (09) අවසන් වූ  මෙම පාකිස්ථානු සංචාරයෙන් පසුව එළැඹෙන ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා T20 තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට සමත්වන්නේ එම ක්‍රීඩකයන් 10 දෙනාගෙන් 3 දෙනෙකුට හෝ 4 දෙනෙකුට පමණක් බවත්, තරගාවලියේ නායකයා වශයෙන් නිත්‍ය නායක ලසිත් මාලිංග කටයුතු කරනු ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපති මෙන්ම කළමනාකරු ද වන අසන්ත ද මැල් මහතා පවසා තිබෙනවා. ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් අමතමින් පසුගියදා ඒ මහතා ඒ බව ප්‍රකාශ කර තිබෙනවා.

එසේම ඕස්ට්‍රේලියා 20-20 තරගාවලිය සඳහා මෙම මස 11 වැනිදා තේරීම් කටයුතු සිදු කරන බවද, ශ්‍රී ලංකා කණ්ඩායමේ යොවුන් ක්‍රීඩකයින් පාකිස්ථානු 20-20 තරගාවලියේදී දැක්වූ දක්ෂතාවය පිළිබඳව තමන් ඉතාමත් සතුටු වන බව ද ඒ මහතා එහිදී වැඩිදුරටත් පවසා සිටියා.  

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත මෙම 20-20 තරගාවලියේ පළමු තරගය ඔක්තෝබර් 27 වනදා ඕවල් ක්‍රීඩාංගනයේදීත්, දෙවන තරගය ඔක්තෝබර් 30 වනදා බ්‍රිස්බේන් ක්‍රීඩාංගනයේදීත්, තෙවන සහ අවසන් තරගය නොවැම්බර් 01 වනදා මෙල්බර්න් ක්‍රීඩාංගනයේදීත් පැවැත්වීමට නියමිතයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here