පාකිස්තානයට තියුණු ජයක්

පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය අතර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ඊයේ (29) පැවැති තරගයෙන් අවසන් පන්දුවාරයේ පන්දු දෙකක් ඉතිරිව තිබියදී පාකිස්තානය කඩුලු 3ක තියුණු ජයක් ලැබීමට සමත්විය. ඒ සමගම අවසන් පූර්ව වටයට පිවිසීමේ ශ්‍රී ලංකා බලාපොරොත්තු තවත් ඈතට ගමන් කලේය.

කාසියේ වාසිය දිනාගැනිමෙන් පසු ඇෆ්ගනිස්තානය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 9කට ලකුණු 227ක් ලබාගැනීමට ඔවුන් සමත් විය. අස්ගාර් ඇෆ්ගන් සහ නජිබුල්ලා සද්රාන් ලකුණු 42 බැගින් ලබාගත්හ. පන්දුයැවීමේදී ෂදීන් ෂා අෆ්රිඩි කඩුලු 4ක් බිඳදැමීය.

ජයග්‍රහණය වෙනුවෙන් තියුණු සටනක නියැලීමට සිදුවූ පාකිස්තානය කඩුලු 7ක් බිඳවැටී තිබියදී තරගය ජයගනු ලැබුවේ 49 වැනි පන්දුවාරයේ 4වැනි පන්දුවේදීය.

තරගයේ වැඩි වාසිය තිබූ පාකිස්තානයට ප්‍රබල සටනක් ලබාදුන් ඇෆ්ගනිස්තානයට මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු ජය ලැබීමට තිබූ අවස්ථාව ගිලිහි ගියේ දුර්වල පන්දුරැකීම් හා දුර්වල විනිසුරු තීරණ කිහිපයක් නිසාවෙනි.

ඉමාඩ් වසීම් ලකුණු 49කින් සහ බාබර් අසාම් ලකුණු 45කින් පාකිස්තාන ලකුණු පුවරුව ශක්තිමත් කළහ. මුජිබර් රහමාන් හා මොහොමඩ් නබී අතර කඩුලු දෙක බැගින් බෙදී ගියේය.

මෙම ජයත් සමගින් සිව්වන ස්ථානයේ සිටි එංගලන්තය පස්වැනි ස්ථානයට ඇද දමමින් පාකිස්තානය සිව්වැනි ස්ථානයට පත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here