ප්‍රබල ඉන්දියාව ගෙදර යැවූ නවසීලන්තය අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී ප්‍රබල ඉන්දියාව පරාජය කරමින් ලකුණු 18ක තියුණු ජයක් ලබමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට නවසීලන්තය සමත්විය.

ඊයේ (09) දිනයේදී ආරම්භවූ තරගය වර්ෂාව හේතුවෙන් නතර කරන විට නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 46.1කදී කඩුලු 5කට ලකුණු 211ක් ලබාගැනීමට සමත්විය. තරගයේ අතිරේක දිනය වූ අද (10) දිනයේදී එතැන් සිට තරගය ආරම්භ විය. ඒ අනුව පන්දුවාර 50 අවසනදී නවසීලන්ත කණ්ඩායමට කඩුලු 8කට ලකුණු 239ක් ලබාගැනීමට හැකිවිය.

ලකුණු 240ක පහසු ඉලක්කයක් හඹායෑමට පැමිණි ඉන්දියානු කණ්ඩායම මුල් පන්දුවාර කිහිපය තුළදීම අඩපණ කිරීමට නවසීලන්ත පන්දුයවන්නන් සමත්විය.

ඉන්දියානු ඉනිමේ මුල් කඩුලු තුන බිඳවැටෙන විට මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 5කි. රෝහිත් ෂර්මා, විරාත් කෝලි හා රාහුල් යන ක්‍රීඩකයන් තිදෙනාටම ලබාගතහැකි වූයේ එක් ලකුණ බැගින් පමණි.

මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 92ක් වනවිට ඉන්දීය ඉනිමේ කඩුලු 6ක් දවාගැනීමට නවසීලන්තය සමත්වී තිබුණි. ඉන් අනතුරුව දෝනි හා ජඩේජා අතර 7වන කඩුල්ල වෙනුවෙන් ඇතිවූ ශතක සබඳතාවය නවසීලන්ත බලාපොරොත්තු ක්‍රමයෙන් දුරස් කිරීමට සමත්විය.

අවසන් මොහොතේදී ජඩේජා හා දෝනි දැවී යෑමෙන් අනතුරුව ඉන්දීය බලාපොරොත්තු යළි දුරස්වන ආකාරය දැකගත හැකි විය.

අවසන් පන්දුවාරයේදී ඉන්දීය කණ්ඩායමට එක් කඩුල්ලක් ඉතිරිව ලකුණු 23ක් ලබාගැනීමට අවශ්‍යව තිබුණි. එහෙත් අවාසනාවන්ත ලෙස ඉන්දීය ඉනිම ලකුණු 221කට සීමා විය. ඒ අනුව දෙවැනි වරටත් නවසීලන්තය ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයකට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් රවීන්ද්‍ර ජාඩේජා ලකුණු 77ක් සහ දෝනි ලකුණු 50ක් ලබාගැනීමට සමත්වූහ. ඒ හැරෙන්නට සෙසු පිතිකරුවන්ට සාර්ථකවීමට අවස්ථාවක් නොලැබිණි.

පන්දුයැවීමේදී මැට් හෙන්රි ලකුණු 37කට කඩුලු 3ක්, සැන්ට්නර් ලකුණු 34කට කඩුලු 2ක් සහ බෝල්ට් ලකුණු 42කට කඩුලු 2ක් සමත්වූහ. තරගයේ වීරයා සම්මානය මැට් හෙනිරිට හිමිවිය.

තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය හෙට (11) ඕස්ට්‍රේලියාව හා සත්කාරක එංගලන්තය අතර පැවැත්වීමට නියමිතය. ඉන් ජයගන්නා කණ්ඩායම සමගින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට නවසීලන්තය සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here