නාවික ක්‍රීඩිකාවෝ එක්දින ශුරතාව දිනති

අන්තර් සමාජ කාන්තා ක්‍රිකට් එක්දින තරගාවලියේ පළමු කොටසේ ශූරතාව දිනාගැනීමට නාවික හමුදා කණ්ඩායම පසුගියදා සමත් විය. ඒ යුද හමුදා කණ්ඩායම සමග පැවැති තරගයෙන් කඩුලු 2ක ජයක් වාර්තා කරමිනි.

මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් යුද හමුදා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 9ක් දැවී ලකුණු 138ක් ලබාගත්තේය. එහිදී මදුෂිකා මෙත්තානන්ද ලකුණු 37ක් සහ සුගන්ධිකා කුමාරි ලකුණු 30ක් ලබාගත්හ. පන්දු යැවීමේදී ඉනෝකා රණවීර ලකුණු 27කට කඩුලු 4ක් සහ ශෂිකලා සිරිවර්ධන ලකුණු 26ට කඩුලු 2ක් බිඳ දැමුහ.

පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කළ නාවික හමුදා ක්‍රීඩිකාවෝ පන්දුවාර 48 පන්දු 2කදී කඩුලු 8ක් බිඳ වැටී ජයග්‍රහණය ලබාගත්හ. එහිදී ශෂීකලා සිරිවර්ධන නොදැවී ලකුණු 43ක් ලබාගත්තාය.
ලීග් ක්‍රමයට පැවැති මෙම තරගාවලියේ අනුශුරතාව හිමිවූයේ ලකුණූ සටහනේ දෙවැනි ස්තානය හිමිකරගත් ගුවන් හමුදා කණ්ඩායමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here