නවසීලන්තය පරාජය කළ පාකිස්තානය ලංකාවත් පහළට ඇද දමයි

ක්‍රිකට් ලෝක කුසලානයේ 33වැනි තරගය ලෙස ඊයේ (26) පාකිස්තානය හා නවසීලන්තය අතර පැවති තරගයෙන් පාකිස්තානය අවසන් පන්දුවාරයේදී කඩුලු 6ක ජයක් ලැබීමත් සමග මෙතෙක් අපරාජිතව සිටි නවසීලන්තයේ පළමු පරාජය සටහන් විය.

ඒ සමගම ප්‍රසාද ලකුණු සටහනේ අංක 6 දක්වා උසස්මවීක් ලැබීමට පාකිස්ථානය සමත්වූ අතර, ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ එහි 7වැනි ස්ථානයයි. මේ අතර නවසීලන්තය එහි දෙවැනි ස්ථානයේ රැදී සිටියි.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායකයා පළමුව පන්දුවට පහරදීම තෝරාගත්තේය. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ට නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 6ක් බිඳවැටී ලබාගතහැකි වූයේ ලකුණු 237ක් පමණි.

සටන්කාමී ඉනිමක් ක්‍රියාත්මක කළ මැදපෙළ පිතිකරු නිසාම් අවසානාවන්ත වූයේ ශතකය පෙනි පෙනි ලකුණු 97ක් ලබා සිටියදී ඉනිම අවසන් වූ බැවිනි. නිසාම් සමගින් ශක්තිමත් සබඳතාවක් ගොඩනැගූ ග්‍රැන්ඩ්හෝම් නොදැවී ලකුණු 64ක් ලබාගත්තේය. පන්දු යැවීමේදී ෂහීන් ෂා අෆ්රිඩි කඩුලු 3ක් බිඳදැමීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පාකිස්තානුවන්ට ලෙහෙසියෙන් තරගය ජයගැනීමට මෙතෙක් අපරාජිතව සිටි නවසීලන්තය ඉඩ ලබාදුන්නේ නැත. තරගය අවසන් පන්දුවාරය දක්වාම පැවතුනේ එබැවිනි. තරගය නිමාවීමට පන්දු 5ක් ඉතිරිව තිබියදී පාකිස්තානු ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 4ක් බිඳවැටී ලකුණු 241ක් වශයෙනි. ඒ අනුව කඩුලු 6ක ජයක් ඔවුනට හිමිවිය.

පාකිස්තානු ජයග්‍රහණයේ නියමුවා වූයේ නොදැවී ලකුණු 101ක් ලබාගනිමින් ශතකයක් ලබාගත් බාබර් අසාම්ය. ඒ නිසාවෙන්ම තරගයේ වීරයා බවටද ඔහු පත්විය. ඔහුට අනගි සහයක් ලබාදුන් සොහයිල් නොදැවී ලකුණු 68ක් ලබාගත්තේය. පන්දු යැවීමේදී බෝල්ට්, ෆර්ගසන් හා විලියම්සන් එක් කඩුල්ල බැගින් බිඳහෙලීමට සමත්වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here