දෝනිට T20-2020 ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයිද?

ලබන වසරේ පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනිගේ සහභාගිත්වය තීරණය වන්නේ ලබන වසරේ පැවැත්වෙන අයි.පී.එල්. තරගාවලියේදී ඔහු දක්වන දස්කම් මත බව ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ත්‍රී පවසා තිබේ.

පසුගිය එක්දින ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය සමග පැවති අවසන් පූර්ව තරගයෙන් පසුව මේ වනතෙක් ඔහු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කර නැත. දෝනි වෙනුවට කඩුලු රැකීම සඳහා නවක ක්‍රීඩක රිෂාන්ට් පාන්ට් කණ්ඩායමට ඇතුළත් වී සිටින අතර ඔහු දක්ෂතා අතරට පැමිණ තිබේ.

2020 ඔක්තෝබර් මාසයේ ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා හොඳම ක්‍රීඩකයින් 17 දෙනා තෝරාගැනීම සඳහා අප්‍රේල් මාසයේදී පැවැත්වෙන අයි.පී.එල්. තරගාවලිය අවසන් වනතෙක් බලා සිටීමට සිදුවන බවත් එහිදී දෝනි දක්ෂතා අතරට පැමිණියහොත් ඔහුට කණ්ඩායමට ඇතුළත් වීමේ අවස්ථාව ලැබෙන බවත් රවී ශාස්ත්‍රී සඳහන් කර තිබේ.

2014 වසරේ දෙසැම්බර් මාසයේ ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගත් දෝනි මේ වනවිට එක්දින තරග සහ T20 තරග සඳහා පමණක් සහභාගී වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here