දිල්ලි ක්‍රීඩකයින්ගේ හයවෙනි ජයත් සමග රාජස්තාන් රෝයල් අටවැනි තැනට පසු බසී…

දිල්ලි කැපිටල් හමුවේ ලකුණු 13 ක පරාජයක් ලැබු රාජස්තාන් රෝයල් කණ්ඩායම අයි.පී.එල්. ප‍්‍රසාද ලකුණු සටහනේ අටවැනි ස්ථානය දක්වා පහත වැටුණි. අදාළ ජයත් සමග දිල්ලි කණ්ඩායම ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන ඇත.

ශ‍්‍රියාස් අයියර් දිල්ලි කැපිටල් කණ්ඩායමට නායකත්වය දෙමින් පන්දු 43 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර තුනක් සමග ලකුණු 53 ක් ලබා ගත්තේය. දිල්ලි කණ්ඩායමේ පළමු කඩුලූ දෙක ලකුණු 10 කදී දැවී ගොස් තිබියදී අයියර් සහ ආරම්භක පිතිකරු ෂිකර් ධවාන් එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 85 ක සබඳතාවක් එක්කරමින් ස්මිත්ගේ කණ්ඩායම හෙම්බත් කර දැමුවේය. එහිදී වේගවත් පිති ප‍්‍රහාරයක් දියත් කළ ධවාන් පන්දු 33 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර හයක් සමග ලකුණු 57 ක් ලබා සිටියදී රහනේගේ පන්දුවට පිටියෙන් ඉවත් විය.

දිල්ලි පිතිකරුවන්ව පීඩනයකට ලක් කළ ජොෆ්රා ආචර් පන්දුවාර හතර ලකුණු 19කට සීමා කරමින් කඩුලූ තුනක් උදුරා ගත්තේය. ලකුණු 161 ක ඉලක්කය හඹා යෑමට පිවිසි රාජස්තාන් කණ්ඩායමේ ආරම්භක පිතිකරු බෙන් ස්ටොක්ස් පන්දු 35 කදී හතරේ පහර හයක් සමග ලකුණු 41 ක් ලබා ගනිමින් ජොස් බට්ලර් සමග එක්ව පළමු කඩුල්ලට ලකුණු 37 ක සබඳතාවක් එක් කළේය.

ස්මිත් එක් ලකුණකට පිටියෙන් ඉවත්වීමත් සමග අදාළ ඉලක්කය හඹා යෑමේදී හති වැටුණු රාජස්තාන් පිල පන්දුවාර 20 අවසනදී ලකුණු 148 කට සීමා කිරීමට දිල්ලි පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී තුෂාර් දෙශ්පාන්ඬේ සහ ඇන්රිච් කඩුලූ දෙක බැගින් බිඳ දැමීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here