දිරිය බංගලියන් බිමහෙලු වෝනර්ගේ බරඅවි ප්‍රහාරය

ඕස්ට්‍රේලියාව සහ බංගලාදේශය අතර ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් ඊයේ ( 20) පැවති තරගය ඕස්ට්‍රේලියාව ලකුණු 48කින් ජය ගැනීමට සමත්වුවද තරගයේ අවසන් පන්දුව දක්වාම ජයග්‍රහණය වෙනුවෙන් තරග කළ බංගලාදේශ ක්‍රීඩකයන්ගේ දැඩි උත්සහය, කැපවීම බොහෝ විචාරකයන්ගේ ප්‍රංශසාවට ලක්වූයේ ප්‍රබල ඕස්ට්‍රේලියාවට ඔවුන් ලබාදුන් සටන නිසාවෙනි.

කාසයේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු නාකයාගේ තීරණය වූයේ පිතිකරුවන්ගේ පාරාදීසයක් බඳු ට්‍රෙන්ට් බ්‍රිජ් තණතීරුවේ පළමුව පන්දුවට පහරදී ප්‍රතිවාදීන්ට දැවැන්ත ඉලක්කයක් ලාබාදීමය.

නායකයාගේ එම බලාපොරොත්තු ඉතා හොඳින් මල්පලගැන්වූ ඩේවිඩ් වෝනර් ප්‍රමුඛ පිතිකරු බලඇණිය නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 5කට ලකුණු 381ක් ලබාගත්තේය. ඩේවිඩ් වොනර් එහි නියමුවා වෙමින් ලකුණු 166ක් ලබාගත් අතර, උස්මාන් කවාජා ලකුණු 89කින් සහ ආරෝන් ප්‍රින්ච් ලකුණු 53කින් ලකුණු පුවරුව ශක්තිමත් කළහ. පන්දු යැවීමේදී සවුම්යා සර්කාර් කඩුලු 3ක බිඳහෙලීය.

ලකුණු 382ක අති දැවැන්ත ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසියද බංගලාදේශ ක්‍රීඩකයන්ගේ ජයලැබීමේ අධිෂ්ඨානය පන්දුවෙන් පන්දුව වර්ධනය වූවා මිස එය මොහොතකට හො බිඳදැමීමට කැන්ගරුවන්ට හැකියාවක් නොවීය.

කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් අවසන් පන්දුව දක්වාම කඩුල්ලේ රැඳී සිටියේ නොදැවී ලකුණු 102ක් ලබාගනිමිනි. ඊට අමතරව මහමුදුල්ලාගේ පිත්තෙන් ලකුණු 69ක් සහ තමීම් ඉක්බාල්ගේ පිත්තෙන් ලකුණු 62ක් බංගලාදේශ ඉනිමට එකතුවිය. තරගය අවසන් වනවිට බංගලාදේශ ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 8කට ලකුණු 333ක් වශයෙනි.

පන්දු යැවීමේදී ස්ටාක්,කොවුල්ටර් නයිල් සහ ස්ටොයිනිස් කඩුලු 2 බැගින් බිඳහෙලීය. තරගයේ වීරයා සම්මානය ඩේවිඩ් වෙිනර්ට හිමිවිය.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (21) පස්වරු 3.00 පමණ ආරම්භවීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here