දිමුත් එක්ක ලෝක කුසලානයට යන්නේ අපේ හොඳම කණ්ඩායමද?

මැයි 30 වැනිදා සිට එංගලන්තයේදි හා වේල්ස්හිදී පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද (18) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතය විසින් ප්‍රකාශයට පත්කිරීමත් සමග බොහෝදෙනෙකුට අතිවූ ප්‍රශ්නය වූයේ ලෝක කුසලාන තරගාවලියට යැවිය යුතු හොඳම කණ්ඩායම මෙයද යන්නය. මෙම ලිපියේ අරමුණ ඒ පිළිබඳව සැකෙවින් විමසා බැලීමය.


ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට ලබාදීම නිසාවෙන් ඊයේ දිනයේ සිටම බොහෝ පිරිසක් තේරීම් කමිටු සභාපති අසන්තා ද මෙල් මහතා ඇතුලු සෙසු කමිටු සාමාජිකයන්ටත්, ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාටත් දෝෂාරෝපණය කරන අයුරු අපි දුටුවෙමු. ඒ අතරතුර දිමුත්ට හා ශ්‍රී ලංකා සංචිතයට සුබපැතුම් එක්කළ පිරිසද සුලුපටු නොවීය. කෙසේවෙතත් නායකත්වයට දිමුත් පත්වීම සම්බන්ධව වෙනත් ලිපියකින් සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු.

එංගලන්තයේ තණකොළ සහිත වේගවත් තණතීරු තුළ පන්දු යැවීමට නම් හොඳ වේගයක් මෙන්ම අවශ්‍ය අවස්ථාවේදී හොඳ ඉපිලීමක්ද සහිතව පන්දු යැවීමේ හැකියාව වේගපන්දු යවන්නන්ට තිබිය යුතුය. ඒ සඳහා වේගපන්දු යවන්නෙකුට හොඳ උසක් තිබීමද අමතර වාසියකි. විශේෂයෙන්ම එක් පන්දුවාරයකට බවුන්සර් පන්දු දෙකක් යැවීමට පන්දු යවන්නෙකුට අවස්ථාව හිමිවුවද ශ්‍රී ලාංකීය පන්දු යවන්නන් එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් අවස්ථා ඉතා අල්පය. වමත් වේගපන්දු යවනනෙක් කණ්ඩායමකට අත්‍යාවශය වන අතර ඉසුරු උදාන ඊට කදිම විසඳුමකි.


බොහෝ විචාරකයන් පවසන ආකාරයට ලසිත් මාලිංග යනු තවමත් ලොව සිටින හොඳම විස්සයි විස්ස පන්දු යවන්නාය. කෙතරම් ප්‍රහාරයට ලක්වුවද පීඩනය හොඳින් පාලනය කරමින් එක් පන්දුවාරයකදී ප්‍රතිවාදී කඩුල්ලක් දෙකක් දවාගැනීම මාලිට එතරම් දෙයක් නොවේ. ඔහු තවමත් ක්‍රිකට් ලොව ‘යෝකර් රජු’ය.

සුරංග ලක්මාල්ගේ හොඳ වේගයක් මෙන්ම නිසි එල්ලයක්ද ඇත. එය මේ මොහොතේදී වඩා වාසිදායක වන්නේ ඔහු ජාත්‍යයන්තර අත්දැකීම් අතින්ද වඩා පොහොසත් පන්දුයවන්නෙක් වන බැවිනි. නුවන් ප්‍රදීප්ට වේගයෙන් පන්දු යැවිය හැකිවීම මෙම සංචිතයට ඔහු ඇතුළත් කිරීමට ප්‍රබල හේතුවක් විය හැකි නමුත් ඔහුගේ එල්ලය පිළිබඳව නම් අපට එතරම් විශ්වාසයක් නැත. එම අඩුපාඩුව මේ වනවිට සකසාගෙන ඇත්නම් නුවන් ප්‍රදීප්ද තරගයක් දිය හැකි හොඳ අශ්වයෙකි.

තිසර පෙරේරාටද අවස්ථානුකූලව හොඳින් පන්දු යැවිය හැකිය. විශේෂයෙන්ම මෑතක සිට ඔහු තමාගේ අවසන් පන්දුවාර කිහිපයේදී ඉතා හොඳින් යෝකර් පන්දු යැවීම සාර්ථකව සිදුකළ අවස්ථා බොහෝය. ඇන්ජලෝ මැතිව්ස් මෙවර සංචිතයට එකතුවී තිබෙන්නේ පිතිකරුවෙක් වශයෙන් පමණි.

මෙම තණතීරු තුළදී දඟපන්දු යවන්නන් තීරණාත්මක සාධකයක් නොවුනද ජීවන් මෙන්ඩිස්ගේ එක්වීම ප්‍රතිඵලදායක විය හැකිය. නිමාවූ සුපර් ෆෝ තරගාවලියේදී ඔහුගේ තුන්ඉරියව් දස්කම් ඉතා ඉහළ මට්ටමක පැවතිණි.

නිත්‍ය පන්දුයවන්නන්ට අමතරව මිලින්ද සිරිවර්ධන, ජෙෆ්රි වැන්ඩසේ වැන්නවුන්ට අවස්ථානූකූලව හොඳ පන්දුවාර කිහිපයක් යැවීමේ හැකියාව පවතී.

ආරම්භක පිතිකරුවන් පිළිබඳව අවධානය යොමුකිරීමේදී දිමුත් කරුණාරත්න සමගින් කුසල් ජනිත්, හෝ ධනංජය ද සිල්වා යොදාගැනීමේ වැඩි ඉඩක් පවතී. අවිශ්ක ප්‍රනාන්දුටද එම අවස්ථාව හිමිවීමේ ඉඩක් පවතී. කුසල් මෙන්ඩිස් අංක තුන පිතිකරුවා ලෙසද ලහිරු තිරිමාන්න අංක හතර පිතිකරු ලෙසද යොදාගැනීමේ වැඩි ඉඩක් පවතී.

ඇන්ජලෝ මැතිව්ස්ට අංක පහ වෙන්වනු ඇත. තිසර පෙරේරා හා ඉසුරු උදාන අංක හය හා හත පිතිකරුවන් වනු ඇත. එහෙත් බොහෝදුරට මොවුන් දෙදෙනාටම එකම තරගයක ඉඩකඩ වෙන්වනු ඇත්ද යන්න අත්තේ ප්‍රශ්නයකි.

මිලින්ද සිරිවර්ධන, ජෙෆ්රි වැන්ඩසේ හා ජීවන් මෙන්ඩිස්ටද අවශ්‍ය ඕනෑම අවස්ථාවක ලකුණු අතරට පිවිසීමේ අවස්ථාව පවතින බැවින් හොඳ මැදපෙළක් කණ්ඩායම සතුව ඇත.

කුසල් ජනිත් හා කුසල් මෙන්ඩිස් දෙදෙනාටම කඩුලු රැකීමේ වගකීම ඉටුකළ හැකිය. දිමුත් කරුණාරත්නට කණ්ඩායම එකමුතු කරගෙන ප්‍රතීවාදීන්ට හොඳ සටනක් ලබාදියහැකි නම් මූලික වටයේ තරග කිහිපයක් හෝ ජයගෙන වර්තමානයේ එක්දින ක්‍රිකට් තරගවලිදී ශ්‍රී ලංකාවට හිමිව ඇති අපකීර්තිය තරමක් හෝ දුරුකරගත හැකිවනු ඇත.

මෙම සංචිතය තුළ හිටපු නායකයන් කිහිපදෙනෙකුම ඇතත් නායකත්වය තමාට හිමිනොවීම කිසිවෙකුත් ප්‍රශ්නයක් කරගත යුතු නැත. මන්ද මේ සියල්ලෝම ක්‍රීඩාකරනුයේ රට වෙනුවෙන් මිස තම තමන් වෙනුවෙන් නොවන බැවිනි.

දිනේෂ් චන්දිමාල්ට, නිරෝෂන් දික්වැල්ලට හා සදීර සමරවික්‍රමට අවස්ථාව හිමිනොවීම ඇතමුන්ට ප්‍රශ්නයක් වුවද ඔවුන්ගේ වගකීම කුසල්ලා යුගලය හොඳින් ඉටුකරන්නේ නම් තවදුරටත් ඔවුන් ගැන සිතා පලක් නොමැත.

උපුල් තරංග අත්දැකීම් බහුල දිගු ඉනිම් හොඳින් ක්‍රීඩා කළ හැකි පිතිකරුවෙක් වුවද ඔහුගේ අවසන් තරගාවලි කිහිපයේදී පිත්තෙන් දැනෙන යමක් කිරීමට ඔහුද අපොහොසත් විය. තවත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකුට මෙම සංචිතය තුළ ඉඩක් නොමැති බැවින් දසුන් ශානකට අවස්ථාව අහිමිව ඇත. අකිළ ධනංජයට ඉඩකඩක් නොමැත්තෙ මෙම තණතීරු තුළ දඟපන්දු යවන්නන් දෙදෙනෙකුගේ අවශ්‍යතාවයක් පැන නොනගින හෙයිනි.

කණ්ඩායමේ පවතින නායකත්ව අර්බුධයට සාර්ථක විසඳුමක් ලබාදී සමබර කණ්ඩායමක් ඉදිරිපත් කිරීමේ අභියෝය තේරීම් කමිටුව අවසනදී ජයගෙන ඇත. මේ ඉදිරිපත් කර තිබෙන්නේ ලෝක කුසලානය වෙනුවෙන් ඉදිරිපත්කළ හැකි හොඳම කණ්ඩායමද? යන පැනයට විසඳුම ඔබට දැන් ලැබී ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here