දකුණු අප්‍රිකාව දෙවැනි පරාජයත් ලබයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 5වැනි තරගය ලෙස දකුණු අප්‍රිකාව සහ බංගලාදේශය අතර ඊයේ (02) පැවති තරගයෙන් ලකුණු 21ක පෙරළිකාර ජයක් වාර්තාකිරීමට බංගලාදේශ කණ්ඩායම සමත්විය. තරගය ලන්ඩන්හි කුවින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායක ෆැෆ් ඩු ප්ලෙසිස්ගේ තීරණය වූයේ පළමුව පන්දු යැවීම තෝරාගැනීමය. එහෙත් එය බොහෝදෙනෙක් විමතියට පක්කළ සිදුවීමක් බවට පත්වූයේ එම තණතීරුවේ ස්වභාවය අනුව පහසුවෙන්ම ලකුණු 300 පසුකරයෑමට අවස්ථාවක් පිතිකරුවන්ට තිබූ බැවිනි.

දකුණු අප්‍රිකානු නායකයාගේ තීරණය අභියෝගයට ලක්කළ බංගලාදේශය සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 330ක් රැස්කිරීමට සමත්විය.එහිදී මුෂ්ෆිකර් රහීම් ලකුණු 78කින් සහ ෂකීබ් අල් හසන් ලකුණු 75කින් සිය දායකත්වය සැපයීය. පන්දුයැවීමේදී පෙලුක්වායෝ, මොරිස් හා තාහීර් අතර කඩුලු 2 බැගින් බෙදී ගියේය.

තමන්ගේ පළමු තරගයද එංගලන්තය හමුවේ පරාජයට පත්ව සිටි ද. අප්‍රිකානුවන් සිටියේ තරමක පීඩනයකිනි. ඉන් උපරිම ප්‍රයෝජනය ගත් බංගලාදේශය විටින් විට දෙපිළටම දෝලනය වෙමින් පැවති තරගය තමන් සතුකරගැනීමට සමත්වූයේ ප්‍රබල දකුණු අප්‍රිකාව ලකුණු 309කට සීමා කරමිනි. ඒ අතරතුර දකුණු අප්‍රිකානුවනගේ කඩුලු 8ක් බිඳහෙලීමටද බංගලාදේශය සමත්විය.

දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ඩූ ප්ලෙසිස් ලකුණු 62ක් ලබාගත් අතර, මක්රම් හා ඩුමිනි ලකුණු 45 බැගින් ලබාගැනීමට සමත්විය. පන්දු යැවීමේදී රහමාන් කඩුලු 3ක් සහ මොහොමඩ් සයිෆුදීන් කඩුලු 2ක් ද බිඳහෙලීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here