තිසර හා නවසීලන්තය අතර අවසන් සටනේ ජයත් කිවියන්ට

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය සංචාරය නිමා කරමින් පැවති එකම විස්සයි විස්ස තරගයේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 35ක පරාජයක් උරුම කරදෙමින් නවසීලන්ත පුර්ණ තරගාවලි ජයක් ලැබීමට සමත් විය. ඒ අනුව තවත් දින කිහිපයකින් ආරම්භ වීමට නියමිත ඕස්ට්‍රේලියානු සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට යාමට සිදුව ඇත්තේ එතරම් හොඳ මානසිකත්වයකින් නම් නොවේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් බැලු විට දක්නට ලැබෙන ප්‍රධානතම ධන ලකුණ වන්නේ පිතිකරුවෙක් ලෙස තිසර පෙරේරා ලබාගෙන ඇති වර්ධනයයි. එක්දින තරගාවලියේදී ඔහු ලබාගත් වේගවත් ශතකය හා අර්ධ ශතකයත්, අද (11) පැවතී විස්සයි විස්ස තරගයේදී කණ්ඩායමේ වැඩිම ලකුණුලභියා බවට පත්වෙමින් ලබාගත් ලකුණු 43ත් ඒ සඳහා හොඳ උදාහරණ වේ. කෙසේ වුවද ඒ එකදු තරගයකදී හෝ ඔහුගේ පිතිකරණ රටාවට ගැලපෙන සේ දිගු ඉනිම් ක්‍රීඩා කරමින් තිසරට අවශ්‍ය සහය ලබාදීමට තරම් අනෙකුත් පිතිකරුවන් අපොහොසත්වීම නිසාවෙන් ඇතැම්විට ජයග්‍රහණය කිරීමට තිබු තරග පවා පරාජයෙන් කෙළවර කරගැනීමට ශ්‍රී ලංකාවට සිදුවිය. තරගාවලිය අවසනදී බොහෝ විචාරකයන් පෙන්වාදෙනු ලැබුවේ සීමිත පන්දුවාර තරගාවලි දෙකම තිසර පෙරේරා හා නවසීලන්තය අතර පැවති තරගාවලියක සිරි ඉසිලු බවය.

අද පැවතී තරගයේදී කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්තාව ප්‍රතිවාදීන්ට ලබාදුනි. ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 20 අවසනදී කඩුලු 7කට ලකුණු 179ක් ලබාගැනීමට සමත්විය. එහිදී බ්‍රස්වේල් ලකුණු 44කින්, කුගෙලේජින් 35කින් සහ රෝස් ටේලර් 33කින් පිත්තෙන් දායකත්වය ලබාදුන්හ.

පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුලු 3ක්, ලසිත මාලිංග කඩුලු 2ක් බැගින් බිඳහෙලු අතර, තිසර පෙරේරා හා සඳකැන් එක කඩුල්ල බැගින් බිඳහෙලීය.

ලකුණු 180ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16.5කදී සියලුදෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 144ක් පමණි. එහිදී තිසර පෙරේරා වැඩිම ලකුණුලභියා බවට පත්වුයේ ලකුණු 43ක් ලබාගනිමිනි. ඊට අමතරව කුසල් පෙරේරා ලකුණු 23ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 18ක් රැස්කිරීමට සමත්වූහ.

නවසීලන්තය වෙනුවෙන් වැඩිම කඩුලුලාභින් බවට පත්වුයේ කඩුලු 3 බැගින් බිඳහෙලු ෆර්ගසන් හා සෝධිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here