තිසරගේ උත්සාහය අදත් අපතේ යයි

ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්තය අතර පැවති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 115ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමත් සමඟ තරග 3න් සමන්විත තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමට නවසීලන්තය සමත් විය. තෙවැනි තරගය අද (08) නවසිලන්තයේ නෙල්සන් නුවරදී පැවැත්විණි.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංගගේ ඇරයුමෙන් පිටියට පිවිසි නවසිලන්ත ක්‍රීඩකයෝ නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 4කට ලකුණු 364ක් රැස්කිරීමට සමත් වූහ. එම දැවැන්ත ලකුණු පුවරුවට රෝස් ටේලර් ලකුණු 137කින් සිය දායකත්වය ලබාදෙද්දී නිකොලස් නොදැවී ලකුණු 124ක් රැස්කරගනු ලැබුවේ පන්දු 80කිනි. පන්දු යැවීමේදී ලසිත් මාලිංග ලකුණු 93කට කඩුලු 3ක් බිඳ දැමීය.

ලකුණු 365 ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 41.4කදී සියලුදෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 249ක් පමණි. දෙවැනි තරගයේ වීරයා බවට පත්වූ තිසර පෙරේරා අද දිනයේ ද කිවියන්ට එරෙහි සිය සටන අත්හරින අයුරක් දිස් නොවිය ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ තිසර ලකුණු 80ක් ලබාගැනීමට සමත් විය. ඊට අමතරව නිරෝෂන් දික්වැල්ල 46ක්, කුසල් පෙරේරා 43ක්, ධනන්ජය ද සිල්වා 36ක් සහ ධනුෂ්ක ගුණතිලක 31ක් වශයෙන් පිත්තෙන් දායකත්වය ලබාදෙන්නට සමත්වූහ.

දෙරට අතර පැවැත්වෙන එකම විස්සයි විස්ස තරගය ජනවාරි 11 වැනි දින ඕක්ලන්ඩ්හිදී පැවැත්වේ.
ඡායාරුපය – Thepapare.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here