ඩිලාගේ තුන් ඉරියව් දස්කම් නිසා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පෙරමුණට

ඉන්දියාවේදී පැවැත්වෙන Road Safty විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ සහභාගී වූ අවසන් තරගයෙන් එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 6කින් පරදා ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායම අද (14) සමත්විය.

කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව එංගලන්තයට ලබාදුන් ශ්‍රී ලංකාව එම ඉනිම ලකුණු 78කට සීමා කළේ කඩුලු 9ක් ද බිද දමමිනි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන් පන්දුවාර 4කදී ලකුණු 6කට කඩුලු 4ක් බිද දැමුවේ නිලකුණු පන්දුවාරයක් ද සමගිනි. ඔහුට අනගි සහායක් ලබාදුන් රංගන හේරත් කඩුලු 2ක් බිද හෙලීය.

තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට නම් ශ්‍රී ලංකාව පන්දුවාර 7 පන්දු 4කදී තරගය ජයගත යුතුව තිබුණි. එම අභියෝගය සිය උර මත තබාගත් නායක ඩිල්ෂාන් පන්දු 26කින් ලකුණු 61ක් ලබාගනිමින් ශ්‍රී ලංකාව ජය කරා රැගෙන ගියේ පන්දුවාර 7 පන්දු 3කින් තරගය අවසන් කරමිනි. ඒ වනවිට ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 4ක් බිද වැටී තිබුණි.

මේ වනවිට ශ්‍රී ලංකා සහ ඉන්දියාව තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here