ජෝ රූට් ගලිවරයන් ලිලිපුට්ටන් කරයි

සත්කාරක එංගලන්ත කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් දේශය අතර ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් ඊයේ (14) පැවති තරගයෙන් කඩුලු 8ක් පහසු ජයක් ලැබීමට එංගලන්තය සමත් විය.

ක්‍රිකට් ලෝකයේ යෝධයන් නැතහොත් ගලිවරයන් ලෙස හැඳින්වෙන ක්‍රිස් ගේල් වැනි දැවැන්තයින්ගෙන් සමන්විත කොදෙව් දේශය අන්ත අසරණ කිරීමේ පෙරමුණේ රාළ වූයේ ජෝ රූට්ය.

කාසියේ වාසිය ජයගත් එංගලන්ත නායකයාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන්ට පන්දුවාර 44.4කදී සියලුදෙනාම දැවී ලබාගතහැකි වූයේ ලකුණු 212ක් පමණි. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ නිකොලස් පූරාන්ට ලබාගතහැකි වූයේ ලකුණු 63ක් පමණි. පන්දුවෙන් කොදෙව්වන් පාලනය කල ආචර් සහ වුඩු කඩුලු 3 බැගින් බිඳහෙලූහ.

එංගලන්ත තණතීරු තුළ ලකුණු 213ක ඉලක්කයක් ආරක්ෂා කරගැනීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවන්නේ එංගලන්ත ක්‍රිකට් ඉතිහාසයේ ඔවුන් මේ ගෙවමින් සිටින්නේ ස්වරණමය යුගය වන බැවිනි.

ආරම්භක පිතිකරු ජෝ රූට් නොදැවී ශතකයක් ලබාගනිමින් එංගලන්ත ජය මාවත හෙළිපෙහෙලි කළ අතර, ආරම්භක පිතිකරු බ්‍රේස්ටෝද ලකුණු 45ක් ලබාගැනීමට සමත්විය. මීට අමතරව පිතිකරු ලැයිස්තුවේ උසස්වීමක් ලබමින් අංක 3 පිතිකරු ලෙස පිටියට පැමීණි ක්‍රිස් වෝකස්ගේ පිත්තෙන් ලකුණු 40ක් එංගලන්ත ලකුණු පුවරුවට එකතු විය.

පන්දුවාර 33.3කින් එංගලන්තය ජය සටහන් කරගනිද්දි කොදේව්වන්ට ලබාගතහැකි වූයේ කඩුලු 2ක් පමණි. ඒ කඩුලු 2ම ගැබ්රියෙල්ගේ නම ඉදිරියෙන් සටහන් විය.

තරගයේ වීරයා සම්මානය නොදැවී ශතකයක්ලහා කඩුලු 2ක් බිඳ දැමූ ජෝ රෑට්ට හිමිවූ අතර මෙවර තඑගාවලියේ ඔහු ලැබූ දෙවැනි ශතකය බවටද එය පත්විය.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියව අතර තීරණාත්මක තරගය අද (15) ප.ව. 3.00 ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here