ජය පරාජයක් බවට පත්කළ ජේෂ්ඨයෝ දිමුත්ගේ උත්සහය වතුරේ යවයි

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 20 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඊයේ (15) එංගලන්තයේ ඕවල් ක්‍රීඩංගණයේ පැවති තරගයෙන් ඕස්ට්‍රේලියාව ලකුණු 87ක පහසු ජයක් වාර්තා කළේ ශ්‍රී ලංකාවේ මැදපෙළ පිතිකරුවන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙනි.

තරගයේ තීරණාත්මක සාධයක් බවට පත්වූ කාසියේ වාසිය දිනාගත් දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහරදීමට කැන්ගරුවන්ට අවස්ථාව ලබාදුන්නේය. ඕස්ටේලියානු ඉනිමේ හරි අඩකටත් වඩා තරගය සාර්ථකව පාලනය කරමින් වැඩි ගෞරවය ශ්‍රී ලංකාව දිනාගනු ලැබුවේ පන්දුයවන්නන්ගේ හා පන්දු රකින්නන්ගේ දක්ෂතාවය නිසාවෙනි.

පන්දුවාර 25 අවසානයේදී කඩුලු 2ක් බිඳවැටී තිබියදී ඔවුනට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 110ක් පමණි. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ ආරෝන් ප්‍රින්ච් හා ස්මිත් යුගලය වේගයෙන් පන්දුවට පහරදෙමින් ගරාවැටුණු ඉනිම ගොඩගනු ලැබුවේ ලකුණු 173ක සබඳතාවයක් පවත්වමිනි. ඉසුරු උදාන විසින් ලකුණු 153ක් ලබාගෙන සිටි ප්‍රින්ච්ව ක්‍රීඩාගාරය වෙත හරවා යැවූ අතර, ස්මිත්වද ලකුණු 73කට දවාගැනීමට මාලිංග සමත් විය. ඉන් අනතුරුව ක්‍රියාත්මකවූ මැක්ස්වෙල් ලකුණු 46ක් ලබාගත්තද සෙසු පිතිකරුවන් එකා පිටුපස එකා ක්‍රීඩාගාරය වෙත යැවීමට ඉසුරු උදාන සමත් විය. ඒ විශ්ෂ්ඨ දුවද්දි දවාගැනීම් දෙකක්, උඩපන්දුවක් හා කඩුලු දෙකක් ලබාගනිමිනි. ඊට අමතරව ධනංජය ද සිල්වා කඩුලු 2ක් ලබාගැනීමට සමත්විය.

ලකුණු 335ක අපහසු ඉලක්කයක් පසුපස හඹාගිය ශ්‍රී ලාංකික ආරම්භක පිතිකරු යුගලය ඕස්ට්‍රේලියානුවන්ගේ නළල රැළිගන්වනු ලැබුවේ මෙවර තරගාවලියේ පළමු පවර් ප්ලේ අවස්ථාවේ කණ්ඩායමක් වාර්තා කළ හොඳම ලකුණු ලබාගැනීමේ වේගය සටහන් කරමිනි.

15 වැනි පන්දුවාරයේදී කුසල් පෙරේරා ලකුණු 52කට දැවී ගියද නායක දිමුත් කරුණාරත්න සටන අත්හැරියේ නැත. මුලු ලකුණු 186දී තෙවැනි කඩුල්ල ලෙස දිමුත් දැවීගියේ ශතකය පෙනී පෙනී ලකුණු 97දීය. ඉන් අනතුරුව කලකට පසු කුසල් මෙන්ඩිස් ලකුණු 30ක් ලබාගත්තද සෙසු පිතිකරුවන් සමග දිගු සබඳතාවයක් ගොඩනැගීමට ඔහු උත්සුක නොවීය.

අත්දැකීම් බහුල ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා හා මිලින්ද සිරිවර්ධන වගකීම් විරහිත ලෙස ක්‍රීඩා කරමින් තරගය අත්හැරීම නිසා ඉසුරු උදානට හො ධනංජය සිරිවර්ධනට කරන්නට යමක් ඉතිරිව නොතිබිණි. පන්දුවාර 45.5කදී සියලුදෙනා දැවී ශ්‍රී ලංකාවට ලබාගතහැකිවූයේ ලකුණු 247ක් පමණි.

ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට තිබූ අවස්ථාව ගිලිහී ගියේ මැදපෙළ පිතිකරුවන්ගේ දුර්වලතාවය නිසාවෙනි. ශ්‍රී ලංකාවේ මැදපෙළ බිඳදැමූ පන්දුයවන්නා වූයේ කඩුලු 4ක් බිඳ දැමූ මිචෙල් ස්ටාක්ය. රිචඩ්සන්ද කඩුලු 3ක් බිඳදැමීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here