කුසල්ගේ දඟ කැවිල්ලේ තරම

කුසල් ගිම්හාන් මෙන්ඩිස් අද (06) ඉන්දියාව සමග පැවැත්වෙන තරගයේදී පන්දුව අතට ගැනීමට නියමිත බව අපගේ විශ්වාසයයි.

විශේෂයෙන්ම පසුගියදා පැවති බටහිර ඉන්දීය කොදෙව් දේශය සමගින් තරගයේදී පන්දුවාර 50 යැවීමේ ගැටලුවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නට මුහුණදීමට සිදුවිය. ඒ බව ඇන්ජලෝ මැතිව්ස් ද සදහන් කර තිබුණි. ඒ ශ්‍රී ලංකා නායකයා අමතර පන්දුයවන්නෙක් තරගය අතරතුරදී සේවූ බවය. ඒ අවස්ථාවේ පන්දු යවන්නෙක් ලෙස ඇන්ජලෝ මැතිව්ස් ඉදිරිපත්වීමෙන් පෙනෙන්නේ ජෙෆ්රි වැන්ඩසේ වෙනුවට වෙනත් දඟපන්දු යවන්නෙක්ගේ අඩුව ශ්‍රී ලංකාවට දැනී ඇති බවයි.

කුසල් මෙන්ඩිස් යනු තිලකරත්න දිල්ෂාන්ගෙන් පසුව කණ්ඩායමට එක්වූ පන්දුයැවීම සහ කඩුලු රැකීම ඉතා හොඳින් සිදුකළ හැකි සිව් ඉරියව් ක්‍රීඩකයෙකි.

කුසල් මෙන්ඩිස් නැමැති මේ හුරුබුහුට් තරුණයා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක්වූ පසු පිතිකරණයට ප්‍රමුඛතාවය ලබාදීම නිසා පන්දුයැවීමේ හැකියාව වැසී ගොස් තිබුණි.

සනත් ජයසූරිය මෙරට තේරීම් කමිටු සභාපතිවරයාව සිටියදී වරක් කුසල්ට ඇගිල්ල දිගුකර පවසා තිබුනේ පුහුණුවීම් වලදී අනිවාර්යයෙන්ම පන්දු යැවිය යුතු බවයි. සනත් එසේ කියන්නට ඇත්තේ ලොවක් භීතියට පත්කළ පිතිකරුවෙකු වූ තමා කණ්ඩායමට අවශ්‍යම මොහොතේදී ඉතා හොදින් පන්දු යවමින් ප්‍රතිවාදී කඩුලු කිහිපයක් දවාලූ අතීතය සිහිපත් වී විය හැකිය.

කුසල් මෙන්ඩිස්ගේ වත්මන් ක්‍රීඩා විලාශයත් සමගින් කණ්ඩායම සමබර කරමින් කණ්ඩායමේ රැඳී සිටීමට නම් කුසල් පිත්ත පමණක් නොව පන්දුවද අනිවාර්යයෙන්ම අතට ගත යුතුය. එපමණක් නොව පිත්තෙන් බරි නම් පන්දුවෙන් හෝ දස්කම් අතරට පිවිසිය යුතුය. කණ්ඩායම මේ මොහොතේ සොයන්නේ එවැන්නෙකි. වර්තමානයේ ඊට හොඳම උදාහරණය ධනංජය ද සිල්වාය.

අවසනදී අපට කියන්නට ඇත්තේ කඩුලු රකින ගමන් වුවද කණ්ඩායමට අවශ්‍ය මොහොතක පා ආවරණ ගලවා දමා පන්දු යැවීමට කුසල්ට හැකි බවය. ඒ අපි දන්න කුසල් මෙන්ඩිස්ය.

ඉන්දියාව සමගින් අද පැවැත්වෙන තරගය ජයගෙන ශ්‍රී ලංකාව වඩා ගෞරවණීය තැනකට ඔසවා තබන්නට අපේ සිංහ පැටවුන්ට හැකිවේවායි Sports Toady අපි මෙලෙස සුබ පතන්නෙමු.

බිනුප සංජීව මානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here