කුසල්ගේ උත්සාහය අපතේ යවමින් නවසීලන්තය ජය ලබයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්තය අතර නවසීලන්තයේ මවුන්ගනුයිඩ්හි බේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවතී පළමු එක්දින තරගයෙන් ලකුණු 45ක ජයක් වාර්තාකිරීමට නවසීලන්තය අද (03) සමත්විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසිලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් බිඳවැටී ලකුණු 371ක් රැස්කිරීමට සමත්විය. එහිදී මාටින් ගප්ටිල් ලකුණු 138ක් රැස්කරමින් නවසිලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. ඊට අමතරව නායක කෙන් විලියම්සන් ලකුණු 76ක් සහ රෝස ටේලර් ලකුණු 54ක් වශයෙන් නවසිලන්ත ලකුණු පුවරුව ඉහල දැමීමට සිය දායකත්වය ලබාදුන්හ. ඉනිම අවසාන භාගයේදී පිටියට පිවිසි ජේ. නිශාම් වේගවත් ලකුණු 47ක් රැස්කරනු ලැබුවේ පන්දු 13කිනි. පන්දු යැවීමේදී ලසිත් මාලිංග, නුවන් ප්‍රදීප් සහ තිසර පෙරේරා කඩුලු 2 බැගින් ලබාගැනීමට සමත් වුහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා හොඳ ආරම්භයක් ලබාදීමට සමත් විය. ඒ නිරෝෂන් දික්වැල්ල ලකුණු 76ක් සහ ධනුෂ්ක ගුණතිලක ලකුණු 43ක් වශයෙනි. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වූ කුසල් පෙරේරා ලකුණු 102ක් ලබාගනිමින් අවසන් මොහොත දක්වාම ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය වෙනුවෙන් සටන්කාමි ඉනිමක් ක්‍රියාත්මක කළේය. ඒ හැරෙන්නට සෙසු පිතිකරුවන්ට ක්‍රියාත්මකවීමට නවසිලන්ත ක්‍රීඩකයෝ ඉඩ ලබානොදුන්හ. ඒ අනුව පන්දුවාර 49ක් අවසානයේදී සියලුම ක්‍රීඩකයන් දැවී ශ්‍රී ලංකාවට ලබාගත හැකි වුයේ ලකුණු 326ක් පමණි. පන්දු යැවීමේදී ජේ. නිසාම් කඩුලු 3ක්, බෝල්ට්, ෆර්ගසන් හා ශෝදී කඩුලු 2 බැගින්ද බිඳ දැමීමට සමත් වුහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here