කැන්ගරුවන් පැරදවූ එංගලන්තය කුළුදුල් ලෝක කුසලාන සිහිනයට ලං වෙයි

ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ඕස්ට්‍රේලියාව පරදා කඩුලු 8ක් විශිෂ්ට ජයක් ලැබීමට ඊයේ (11) සත්කාරක එංගලන්තය සමත්විය. ඒ සමගම නවසීලන්තය සමගින් ජූලි 14 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට එංගලන්තයට හැකියාව ලැබිණි.

කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව පන්දුවාර 49කදී සියලුදෙනාම දැවී ඔවුන්ට ලබාගත හැකිවූයේ ලකුණු 223ක් පමණි. ස්මිත් තමාගේ පළපුරුද්ද උපයෝගි කරගනිමින් ලකුණු 85ක් ලබාගත් අතර, කේරී ලකුණු 46ක් ලබාගනිමින් ඔහුට අනගි සහයක් ලබාදුන්නේය. සෙසු කිසිදු පිතිකරුවෙකුට සාර්ථකවීමට එංගලන්ත පන්දුයවන්නන් ඉඩ ලබාදුන්නේ නැත.

පන්දුයැවීමේදී වෝකර්ස් හා රෂීඩ් කඩුලු 3 බැගින් බිඳ හෙලූ අතර ආචර් කඩුලු 2ක් තමාගේ නම ඉදිරියෙන් සටහන් කරගත්තේය.

ලකුණු 224ක පහසු ඉලක්කයන් හඹාගිය සත්කාරකයන් පහසුවෙන්ම එම ඉලක්කය සපුරාගනු ලැබුවේ පන්දුවාර 32.1ක් පන්දුවක් පමණක් වැය කරමිනි. ඒ සඳහා ඔවුන් ප්‍රතිවාදීන්ට ලබාදුන්නේ කඩුලු 2ක් පමණි.
ජේසන් රෝයි අවාසනාවන්ත ලෙස ලකුණු 85කට දැවී ගියේ දුර්වල විනිසුරු තීරණයක් නිසාවෙනි.

ඉන් අනතරුව පිටියේ ස්ථාවර වූ රූට් සහ නායක මෝගන් යුගලය ජයග්‍රහණය දක්වා තම කණ්ඩායම රැගෙන ගියේ ප්‍රතිවාදීන්ට කිසිදු අවස්ථාවක් ඉතිරි නොකරමිනි. රූට් නොදැවී ලකුණු 49ක් සහ මෝගන් නොදැවී ලකුණු 45ක් ලබාගැනීමට සමත්වූහ.

මිචෙල් ස්ටාක් සහ පැට් කමින්ස් එක් කඩුල්ල බැගින් බෙදාහදා ගත්හ. තරගයේ වීරයා සම්මානය ක්‍රිස් වෝර්කස්ට හිමිවිය.

නවසීලන්තය අඛණ්ඩව දෙවැනි වතාවටත් ක්‍රිකට් ලෝක කුසලානයක අවසන් මහා තරගයකට සුදුසුකම් ලබාගත් අතර, එංගලන්තයද 1992 වසරින් පසු ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලබාගැනීමට සමත්විය. ඒ අනුව මෙවර අවසන් මහා තරගයේ තරග වදිනුයේ මෙතෙක් ලෝක කුසලානයක පහස නොලද කුළුදුල් ලෝක කුසලානයක සිහිනය දකින කණ්ඩායම් දෙකකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here